පසුගියදා ශ්‍රී ලංකාවේ වඩාත් සුරක්ෂිත ප්‍රදේශයකදී අපරාධයක් සිදුවූ බව ඔබට මතක ඇති. එය ශ්‍රී ලංකාවේ අධිආරක්ෂිත කලාපවලින් හොඳම එකක් ලෙස හැඳින්විය හැකිය. අලුත් කඩේ මෙරට ප්‍රධාන අධිකරණ සියල්ලම පිහිටා ඇත්තේ එහිය. එහි පස් වැනි උසාවි ශාලාව තුළ නඩු නිමිත්තකට ගෙනා චූදිත, පාතාල කල්ලි නායකයකු එහි විත්ති කූඩුවට නංවා සිටියදී එහි වෙස්වළාගෙන සිටි ඝාතකයකු විසින් ඔහු අසලටම ගොස් පිස්තෝලයකින් පපුවට වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. විනිසුරු විනිශ්චාසනයේ සිටිය දී වූ මේ සිදුවීම රටේ සමස්ත ජනතාවම කම්පාවටත් භීතියටත් පත් කළ එකකි.
ඒ වන විට එහි සිදු වූයේ එම උසාවි ශාලාව තුළ නඩුවලට අදාළ අත්‍යවශ්‍ය සීමිත පිරිසක් පමණක් රඳවා ගෙන අනිත් අය සියලු දෙනාම ඉවත් කොට දොරගුලු ලා ගෙන නඩුවලට අදාළ විත්තිකරුවන් බන්ධනාගාර තුළ රඳවා සිටියදී සූම් තාක්ෂණය ඔස්සේ කළ විනිශ්චයකි. එහි කායිකව පෙනී සිටි එකම විත්තිකරුවූ ඔහු බන්ධනාගාරයේ තබා ගෙන ඉදිරිපත් නොකර මෙහි ගෙනාවේ ඇයි දැයි ඒ අවස්ථාවේ විනිසුරු අසා තිබේ. බන්ධනාගාර නිලධාරීන්ගේ පිළිතුර වී තිබෙන්නේ අංක නමය උසාවියට භෞතිකව පෙනී සිටිය යුතුයැයි දුන් නියෝගයකට ඔහු ගෙනා බවත් විත්තිකරු මෙහි ගෙනැවිත් ඇති නිසා අංක 5 උසාවියේ විත්තිකරුට එරෙහිව නඩුවක් ඇති නිසා එහි ඉදිරිපත් කළ බවයි.
ඒ අනුව විත්තිකරු භෞතිකව ඉදිරිපත් කිරීමට උසාවි නියෝගයක් තිබූ බව කල් ඇතිව දැන ගෙන ඝාතකයා මේ කටයුත්තට ආවා විය හැකිය. එසේ නම් ඔහු යායුතුව තිබුණේ අංක නවයටය. ඒ වෙලාවේ අංක නවය වසා දමා ඒ කටයුතු අංක දෙකට ගෙන ගොස් තිබුණා නම් එහි දී ඔහු යා යුත්තේ ශාලා අංක දෙකටය. ඒත් ඔහු නීතිඥයකු සේ වෙස්වලා ගෙන ඔහුගේ ගොදුර ගෙන එන තෙක් අංක පහට කල් ඇති ගොස් සිටියා යැයි පොලීසිය කියන්නේ කුමන තර්කයක් මත ද? ඒ වගේ ම මේ විත්තිකරුට ආරක්ෂාව සපයමින් ඔහු එහි ගෙනා බන්ධනාගාර නිලධාරින් විශාල පිරිසක් හා විශේෂ කාර්ය බලකායේ භට පිරිසක් ද උසාවියෙන් පිටත ආරක්ෂාවට රැඳී සිටියහ. තම ඉලක්කය සපුරා ගත් ඝාතකයා උසාවියේ දොර ඇරගෙන ‘ඇතුළේ වෙඩි තියා ගන්නවා’ කියා ගෙන සිරකරුගේ ආරක්ෂාවට ආ නිලධාරි හා විශේෂ කාර්ය බලකායේ සෙබළුන් අතරින් දිව ගිය බව කියැවේ.
'මේ විත්තිකරුට මරණ තර්ජන තිබුණාදැයි බුද්ධි අංශ වාර්තා කර තිබුනේ දැ'යි ඇසූ විට වැඩ බලන පොලිස්පති තුමා මාධ්‍යවේදියකුට අපූරු උත්තරයක් දී තිබුණා. 'ගම්පහ උසාවියට ගෙනාවොත් මරණ බවට තර්ජනයක් වාර්තා කර තිබුණා. කොළඹට එහෙම තර්ජනයක් තිබුණේ නෑ' ඒත් ගම්පහත් කොළඹත් අතර දුර කිලෝමීටර 30ක් විතරයි තියෙන්නේ. ඒ තරම් කෙටි දුරකට තර්ජනය වෙනස් වුණේ කොහොමද?
මේ සිද්ධිය මේ වන විට අපේ රටේ සෑම දෙනකුම දන්නා දෙයක්. පුවත්පත්වල, ටෙලිවිශන පුවත්වල, යූ ටියුබ් හා ෆේස් බුක් වැනි සමාජ මාධ්‍ය ජාලාවල හැම තැනක විවිධ අයුරින් ජන මනස හොල්මන් කරන තරමට විස්තර පළ විය. ඒ මදිවාට මේ සිද්ධිය ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි විරුද්ධ පක්ෂය ඇතුළු කණ්ඩායමක් කියති. තවත් පිරිසක් මෙයින් බරපතල ලෙස මහජන ආරක්ෂාවට තර්ජනයක් එල්ල වෙන්නේ යැයි කියති. රජය පාර්ශ්වයෙන් කියන්නේ මෙය එවැනි තර්ජනයක් එල්ලවන්නක් නොව පාතාලේ දෙකොටසක් අතර සිදුවන සටනක එක් අවස්ථාවක් පමණක් බවය. වැරදිකරුවන් ඉක්මනින් සොයා දඬුවම් පමුණුවන බවය. එහෙත්, නීතිපති දෙපාර්තමේන්තුව, මහාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය, අධිකරණ අමාත්‍යාංශය ඇතුළු නීතිය රජකරවන, කිසිසේත්ම අනීතිය රජකළ නොහැකි, සුවිශේෂ අධිආරක්ෂක කලාපයකැයි කියා ගන්නා තැනකදී මෙවැන්නක් සිදුවීම සුළුවෙන් තැකිය හැකිද? මෙවැනි සිදුවිමකින් තර්ජනය එල්ලවන්නේ කුමන ආරක්ෂාවකට ද?
අධිකරණ අමාත්‍යවරයා පවා ඉලෙක්ට්‍රොනිකව පරීක්ෂා කොට ඇතුළට වැද්ද ගන්නා තැනකට කිසිදු අවසරයකින් තොරව ගිනි අවියක් ගෙන යාම වුවද කුමන හෝ ආරක්ෂාවකට තර්ජනයක් නොවේද? එවැනි විශේෂයෙන් ආරක්ෂක ස්ථානයකින් ආරක්ෂක භටයන් රැසක් අතරින් වෙඩික්කරුවකු පැන යාම, පැන ගොස් පැය ගණනකට පසු ඔහු අල්ලා ගැනීමට සැතැපුම් සිය ගණනක් ඈතට යාමට සිදුවීම පවා ආරක්ෂාවට තර්ජනයකි.
මට නම් මෙහිදී පෙනෙන්නේ ආරක්ෂාවට තර්ජනය ඇත්තේ වෙනත් තැනක බවය. ඒ සමාජය තුළ සිටින ඒ ඒ කටයුතුවල වගකීම් දරණ අයගේ වගවීම් විරහිත ක්‍රියා කලාපය තුළය. උසාවියේ කාල සටහන හා අවසාන මොහොතේ සිදු වු වෙනස්කම් පාතාලයන් අතට යාම එහි එන අය නිසි ලෙස පරීක්ෂා නොකිරීම එහි ආරක්ෂාව බිඳ වැටීමට ප්‍රධාන හේතුයි.
අනෙක් අතට කාර්යාලවල, ආයතනවල, අධි ආරක්ෂක කලාපවල මෙසේ කැමරා සවිකර ඇත්තේ ඇයි? දවසේ සිදු වූ දේවල් හවසට බල බලා ඉන්නද? එසේම ඒවාට ‘ආරක්ෂක කැමරා පද්ධති’ කියා කියන්නේ ඇයි? සුපිරි වෙළෙඳ සංකීර්ණවල නම් ඒවා සවිකර ඇත්තේ සාප්පුවලින් බඩු උස්සන අය එවේලේම අල්ලා ගැනීමටය. වසා ඇති රාත්‍රි කාලයේ නම් පසුවදා සොරුන් හඳුනා ගෙන අල්ලා ගැනීමටය. එහෙත් අධි ආරක්ෂක කලාපවල මේවා සවිකර ඇත්තේ ඇයි? ඒ මොහොතේ සිදුවන දෙයක් නරඹා වහා පිළියම් යෙදීමටය. එසේ නම් ඒවා පරීක්ෂා කරන විශේෂ මැදිරියක් එහි තිබිය යුතුය. එහි ඒ සඳහා විශේෂයෙන් පුහුණු කළ, පළපුරුදු, බුද්ධිමත් අය සේවයේ යෙදවිය යුතුය. ඒ සමගම ඒ අයගේ උපදෙස් ලබා ක්‍රියාකිරීමට අවශ්‍ය නිලධාරින් නිසි තැන්වල ස්ථාන ගත කළ යුතුය. ඔවුන්ට වෝකි ටෝකි ලබා දිය යුතුය. එසේ ම විශේෂිත ආරක්ෂිත ස්ථානවල ඇති ඉලෙක්ට්‍රොනික ආරක්ෂිත දොරටු තරාතිරම නොබලා නිසි ලෙස ක්‍රියාත්මක ක්‍රියාත්මක කළ යුතුය. ආරක්ෂාව ගැන හැඟීමක්, වගකීමක් ආයතනයක සිටින හැමදෙනා තුළම තිබිය යුතුය. එය බිඳ වැටීම ගැන ඔවුන් හැම දෙනා ම ලජ්ජා විය යුතුය.
ඊළඟට ජාතික ආරක්ෂාව හා මහජන ආරක්ෂාව ගැනත් යමක් කිවයුතුය.
ජාතික ආරක්ෂාව යනු කුමක් ද? කෙටියෙන් කියනවා නම් ජාතික ආරක්ෂාව යනු කිසියම් රටක ස්වාධීනත්වයට, ස්වෛරීභාවයට, රාජ්‍ය පාලනයට, දේශපාලන ස්ථාවරත්වයට, ආර්ථික පද්ධතියේ ආරක්ෂාවට සහ එහි නායකයාගේ පටන් පොදුවේ සමස්ත ජනතාවගේ ආරක්ෂාවට බාහිරව හෝ අභ්‍යන්තරව එල්ල විය හැකි, තර්ජන වළක්වා ගැනීම ය. නිදසුන් වශයෙන් පිටරටින් එන ආක්‍රමණ, විදේශීය හමුදා ක්‍රියාකාරකම්, රාජ්‍ය පාලනයට බාධා කරන බාහිර ක්‍රියා මාර්ග, රාජ්‍ය පරිගණක පද්ධතියට එල්ල වන සයිබර් ප්‍රහාර, ත්‍රස්තවාදී ක්‍රියා, රාජ්‍ය පොදුකාර්ය සංවිධානය බිඳ හෙළන ක්‍රියා ජාතික ආරක්ෂාවට එල්ලවළක්වන කරන තර්ජන සේ සැලකිය හැකිය.
මහජන ආරක්ෂාව යනු කුමක්ද? රට තුළ පුරවැසියන්ගේ යහපැවත්මට හා නිදහස්, නිවහල් ජීවිතයට, සමාජ කටයුතුවලට බාධා කරන, ජනතාව බියවද්දන, අපරාධ වළක්වන, ආකාරයෙන් නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කිරීම මහජන ආරක්ෂාව සේ සැලකිය හැකිය. නිදසුන් වශයෙන් රට පුරා නීතිය හා සාමය පවත්වා ගෙන යාම, ප්‍රසිද්ධ සිදුවීම්වලට සහභාගිවන මහජනයාගේ ආරක්ෂාව සහතික කිරීම, කැරලි මර්දනය ආදිය දැක්විය හැකිය.
මේ පාතාලයන්ගේ එදිරිවාදුකම් නවතා ලීම මේ ආරක්ෂාවන් දෙකෙන් කොයි එකට දැමිය යුතු දැයි පුරවැසියා දන්නේ නැත. ඒ පාතාලයේ ක්‍රියාකාරකම් පිටරටක සිට මෙහෙයවන්නේ නම් එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් සේ සැලකිය හැකිය. ඒ නිසා මේ කුමන හෝ තර්ජනයක් බෙදා හදා ගැනීමට තර්ක නොකර, පොදුවේ ජනතාවට රටට වන තර්ජනයක් සේ සලකා ඒවා මැඩ පැවැත්වීමට රටේ සියලු දෙනාම අනලස්ව ක්‍රියාත්මක විය යුතුය. තම රට තුළ කිසියම් හෝ ආරක්ෂාවක බිඳවැටීමක් සිදු වුවහොත් එය පුරවැසියන් වශයෙන් අප හැමදෙනාම ලජ්ජාවට පත් විය යුතු කරුණකි. කළ යුත්තේ අනිකාට ඇඟිල්ල දිගු කිරීම හෝ අපරාධකරුවන් බේරා ගැනීමට කටයුතු කිරීම නොව පිළියම් යෙදීම සඳහා හැම දෙනාම එක්වීමය.
0 Comments