වැලිකඩ පොලිසියේ දී මොකද වුණේ? දැන් මොකද වෙන්නේ?

ශ්‍රී ලංකා පොලීසිය විසින් අත් අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් භාරයේ සිටියදී මියයාම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා පොලීසිය දිගු හා කැත ඉතිහාසයකට හිමිකම් කියයි. මෙසේ පොලීසිය තුළදී හෝ පොලිසිය විසින් සැකකරුවන් පිටතට ගෙනගොස් මරා දැමීමේ ඉතිහාසයේ අලුත්ම පරිච්ඡේදය වුයේ බදුල්ල මීගහකිවුල ප්‍රදේශයේ තරුණයෙකු පසුගියදා වැලිකඩ පොලිසිය විසින් අත් අඩංගුවට ගත්පසු, අංගොඩ මානසික රෝහලේදී මිය යාමේ සිද්ධියයි. 

වැලිකඩ පොලිසිය භාරයේ සිට අබිරහස් ලෙස 
මරණයට පත් නිමේෂ් සත්සර (ඩේලි මිරර් අනුග්‍රහයෙනි)

වැලිකඩ පොලිසියේ නිලධාරීන් විසින් සිදුකරන ලදැයි සැකකරන ආසන්නතම ඝාතනය සත්සර නිමේෂ් නම් 25 හැවිරිදි තරුණයාගේයි. නාවල ප්‍රදේශයේ නිවසකට හොරෙන් ඇතුල්වූ බවට සැකකර පොලිසියට ලද හදිසි ඇමතුමකට ප්‍රතිචාර ලෙස මෙම තරුණයා වැලිකඩ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබු අතර, අත් අඩංගුවට ගෙන පැය කීපයකට පසු ඔහු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබුණි. 

බදුල්ලේ නිමේෂ් සත්සරගේ මරණයේ අභිරහස 

අත් අඩංගුවට ගත් සත්සර නිමේෂ් වැලිකඩ පොලිසියේ රඳවා ගෙන පැය කීපයකට පසු එම තරුණයාට මානසික රෝගී තත්වයක් ඇතැයි පවසා අංගොඩ මානසික රෝහලට ඇතුලත් කරන විටත් ඔහු මියගොස් සිටි බවට නිල නොවන වාර්තා පළවිය. තරුණයාගේ මරණය ගැන පොලිසියට එල්ලවූ චෝදනා බරපතල වීම නිසා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය විසින් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළේය. 

ඒ අතර තරුණයාගේ පවුලේ අය විසින් මරණය සැක සහිත බව පවසා පූර්ණ පරීක්ෂණයක් ඉල්ලා අධිකරණයට පෙත්සමක් ගොනු කරනු ලදුව, තරුණයාගේ මළ සිරුර අප්‍රේල් 23 වැනිදා නැවත ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරු තිදෙනෙකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් විසින් පුර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර ප්‍රගතිය අප්‍රේල් 30 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස අධිකරණය CID යට නියෝග කළේය. 

මෙහිදී CID ය අධිකරණයට දන්වා සිටියේ වැඩබලන පොලිස්පති වරයාගේ නියෝග මත, තරුණයා වැලිකඩ පොලිසිය විසින් අත් අඩංගුවට ගත් ස්ථානයේ සිට ඔහු මියගිය අංගොඩ මානසික රෝහල දක්වා හා ඔහු නවාතැන් ගෙන සිටි ස්ථානයේ සිටි අයගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් විමර්ශනය කරගෙන යන බවයි. සත්සර නිමේෂ් ගේ මරණය වසරක් ඇතුළත වැලිකඩ පොලිසිය විසින් සිදුකළ දෙවන ඝාතනය ලෙස පොලිස් වාර්තා අතරට එක්වෙද්දී වැලිකඩ පොලිසිය විසින් සිදුකරන ලදැයි චෝදනා ලැබූ මෙවැනිම තවත් ඝාතනයක් 2024 මැයි මස 11 වැනිදා වාර්තා විය. ඒ බදුල්ල දෙමෝදර පදිංචිකාරියක වූ ආර්. රාජකුමාරී නම් 42 හැවිරිදි එම කාන්තාවකි. 

බදුල්ලේ රාජකුමාරිගේ අභිරහස් මරණය 

ඇය අත් අඩංගුවට ගත්තේ රන් මුදුවක් සොරකම් කළේ යැයි චෝදනාව පිට වැලිකඩ පොලිසිය විසිනි. අත් අඩංගුවට පත් වූ පසු ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී අසනීප වුවා යයි කියමින් ඇය වැලිකඩ පොලිසිය විසින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලදී. ඒ අවස්ථාවේ දී ඇය මියගොස් සිටි බව හෙළි විය. ඇගේ සැමියා වූ සෙල්වදුරෙයි ජේසුරාජ් විසින් ප්‍රකාශ තිබුණේ ඇයගේ සිරුර පුරා පහර දීම්වල සලකුණු හා නහයෙන් හා කටින් ලේ ගලා ගොස් තිබු බවයි. එමෙන්ම ඔහු මාධ්‍ය හමුවකදී පැවසුවේ රෝහල් වෛද්‍යවරයාට මෙම මරණය පොලිසිය කළ පහරදීමකින් සිදුවී ඇති බවට තමන් ප්‍රකාශ කළ බවත්, වෛද්‍යවරයාද එය අනුමත කළ බවත්ය. 

ඇය කොළඹ ධනවත් පුද්ගලයන් අතර සුප්‍රසිද්ධ කාන්තාවක් වන 'සුධර්මා නෙත්තිකුමාර' හෙවත් 'සුධර්මා ජයවර්ධන' නම් ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවකගේ නිවසේ මෙහෙකාරියක ලෙස සේවය කර ඇති අතර, එම නිවසේ තිබු රන් මුදුවක් සොරාගෙන ඇති බවට සුධර්මා ජයවර්ධන විසින් වැලිකඩ පොලිසියට දුරකතනයෙන් පැමිණිල්ලක් කර තිබේ. 

හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් ගේ ළඟම මිතුරියක වන මෙම ටෙලිනාට්‍ය නිෂ්පාදිකාව මෙම සිදුවීම ගැන ටිරාන් අලස් හට පවසා ඇතැයිද, අලස් විසින් මේ ගැන සොයා බලන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පැවරීමෙන් පසු දේශබන්දු තම සගයකු වන වැලිකඩ පොලිස් ස්ථානාධිපති වරයාට මෙම සොරකම ගැන වාර්තා කර ඇති බව සමාජ මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි. 

සත්සර නිමේෂ් නම් තරුණයා මිය යාමේ සිදුවීමට සමාන අයුරින්ම, රාජකුමාරීද පහර දීම් නිසා මියගොස් ඇති බවටත්, එම නිසා මරණය සැක සහිත බවටත් අධිකරණයට කරුණු වාර්තා විය. කොළඹ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ලබා දුන් අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ලබා දී තිබු අතර ''වැලිකඩ පොලිසිය ප්‍රශ්න කිරීමේදී යම් අතපසුවීමක් සිදු කර ඇත්දැයි'' සොයාබලන බව එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව ප්‍රකාශ කර තිබිණි. 

කෙසේ වෙතත් මෙම කාන්තාවගේ මරණය පිළිබඳව CID ය පැවැත්වූ විමර්ශනයෙන් පසු වැලිකඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂක වරයෙකුට මිනී මැරුම් චෝදනා යටතේ නඩු පවරා තිබේ. පොලිසියට බොඩි කැම් පැලඳවීමට අධිකරණයෙන් නිර්දේශයක්! පොලිස් අත් අඩංගුවේදී මියගිය අයෙකු පිළිබඳව 2008 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පැවරූ නඩුවක වග උත්තර කරුවකුවූ පොලිස්පතිවරයාට 2023.03.24 ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී තිබු නිර්දේශ වලට අනුව කිසියම් සැකකරුවකු අත් අඩංගුවට ගැනීමේදී හා පිටතට රැගෙන යාමේදී අදාළ පොලිස් නිලධාරීන් විසින් සිරුරේ පැලඳිය හැකි කැමරා මගින් ඔවුන් සිදුකරන ක්‍රියාදාමය වීඩියෝ වීමට ඉඩ සැලසිය යුතු වේ. 

මෙම නියෝගය ක්‍රියාත්මක කිරීමෙන් සැකකරුවකුගේ මෙන්ම පොලිස් නිලධාරීන්ගේද අයිතිවාසිකම් ආරක්‍ෂා වන බව 100%ක් සහතික කළ හැකි අතර ඕනෑම අධිකරණයක බිඳහෙළිය නොහැකි සාක්ෂි ලෙස ඉදිරිපත් කළ හැකිය. අද ලොව බොහෝ රටවල නීතිය ආරක්ෂා කරන නිලධාරීන්ගේ දෛනික අත්‍යාවශ්‍ය උපකරණ අතර මාංචු කුට්ටමකටත් වඩා වැදගත් උපකරණය වන්නේ ඔවුන් පලඳින කැමරාව හෙවත් ‘Body cam‘ය. බොහෝ රටවල පොලිස් නිලධාරීන්ට අමතරව, සාමාන්‍ය ආරක්ෂක නිලධාරීන් මෙන්ම සුපිරි වෙළඳසැල් සේවකයන්ටද මෙම කැමරා ලබා දී තිබේ. 

පොලිසිය බොඩිකම්වලට බිය වන්නේ ඇයි? 

එසේ තිබියදී ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් අධිකරණ නියෝගයක් හා පොලිස්පති වරයාගේ නිර්දේශය තිබියදීත්, රාජකාරියකට යන වෙලාවේදී විශේෂයෙන් සැකකරුවකු අත් අඩංගුවට ගැනීමේදී හෝ පිටතට ගෙන යාමේදී හෝ ප්‍රශ්න කිරීමේදී කැමරාවක් පැලඳීමට තවමත් මැලිකමක් හෝ බියක් දක්වන්නේද, නැතහොත් පොලිස් පරිපාලනය විසින් මෙය අනිවාර්ය කර නැත්දැයි හේතු සොයා බැලිය යුතුය. එසේ නොමැතිනම් පොලිස් ස්ථානවලදී සිදුවන මෙම පහරදීම්, මිනී මැරීම් අවම කර සැකකරුවන්ට හා චෝදනාවලට ලක්වන අයගේ ගැලවිල්ල සඳහා පොලිස් නිලධාරීන් හට තම විශේෂ රාජකාරී අවස්ථාවල කැමරා පැලඳීම අනිවාර්ය කළහොත් මෙවැනි මරණ වළක්වාගත හැකි බවට කිසිදු සැකයක් නැත.

NPP ආණ්ඩුව පිහිටුවීමෙන් පසු රජයේ බොහෝ අමාත්‍යංශ සතු ආයතන වල system change සඳහා අදාළ ඇමතිවරු මේ වන විටත් පියවර ගනිමින් සිටිති. එම පියවරවල ප්‍රගතියද විටින් විට මෙම කෙටි කාලය තුළ මහජනතාවට දැක බලාගත හැකි වෙමින් පවතී. එහෙත් ශ්‍රී ලංකා පොලීසිය වෙනස් වන පාටක් හෝ දක්නට නැති බව තවමත් පොලිස් දෙපාර්තමේන්තුව තුළ හා ඔවුන් පුරවැසියාට සලකන ආකාරය ගැන සිදුවෙමින් පවතින දේ නිරීක්ෂණය කරන කාටත් පැහැදිලිව පෙනී යන කරුණකි. 

ජනපතිවරයාගේ අවධානය ඉක්මනින් යොමු විය යුත්තක්! 

පසුගියදා මට්ටක්කුලිය කාක දුපතේදී පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනෙකු ආයුධ පෙන්වීමට රැගෙන ගොස් වෙඩි තබා මරා දැමීම වැනි සිදුවීම්, මෙවැනි මිනීමැරීම්වලට විරුද්ධව වැඩියෙන්ම හඬ නැගූ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ජනාධිපතිව සිටින රජයක් යටතේදී කිසිදා සිදු නොවිය යුතුය. නමුත් NPP රජයක් යටතේ ඇති පොලිස් දෙපාර්තමේන්තුව නිසි පීල්ලට ගැනීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරියට පමණක් කළ නොහැකි අතර ඉහලින් තීන්දු ගත යුත්තා වන මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාලටත් ඉහලින් පොලිසිය පාලනය කරන්නකු ඇද්දැයි සැකයක් ජනතාව තුළ වර්ධනය වෙමින් පවතී. 

දේශපාලකයන් අත් අඩංගුවට නොගැනීම පිළිබඳව වර්තමාන පොලිසිය පිළිබඳ ඕනෑතරම් උදාහරණ දැක්විය හැකි අතර එක් උදාහරණයක් ලෙස තවමත් පොලිසියට කට්ටි පනිමින් අවුරුදු උත්සව පවත්වන විවෘත වරෙන්තු කරුවකු වන ''මිරිස් කුඩ්ඩා'' හෙවත් හිටපු ඇමති ප්‍රසන්න රණවීර ගත හැක. ඔහු අල්ලා නීතියට පමුණුවන්නට බැරි පොලිසියක් අනුරගේ ආණ්ඩුවේ තිබිය යුතු ද? 

අනුර දිසානායක ජනාධිපති වීමට පෙර මන්ත්‍රීවරයෙකු ලෙස දේශපාලන සබඳතා සහිත පුද්ගලයින් කිසියම් චෝදනාවකට අත් අඩංගුවට ගැනීම අතපසු වෙත්දී පැවසුවේ, ආණ්ඩුව විසින්ම ඔවුන් අත් අඩංගුවට ගැනීම වළක්වා සිටින බවයි. එසේනම් එවැනි කතා ඔහුගේ ආණ්ඩුවටත් අදාළ බව ජනාධිපතිවරයා සිහියේ තබා ගත යුතුය. 

(ලංකා ඊ නිව්ස්හි පළ වු සංජය දසනායකගේ වාර්තාවක් ඇසුරෙනි.) 

අදහසක් පළ කරන්න (COMMENTS)

0 Comments