මංගල සමරවීර, ශ්‍රී ලංකා දේශපාලනයේ කීර්තිමත් චරිතයකි. ඔහු හිටපු විදේශ කටයුතු හා මුදල් අමාත්‍යවරයෙකි. එසේම ඔහු සිවිල් ගුවන් සේවා හා වරාය කටයුතු ඇමතිවරයා ලෙසත්, ප්‍රවෘත්ති හා මාධ්‍ය ඇමතිවරයා ලෙසත්, තැපැල් හා විදුලි සංදේශ ඇමතිවරයා ලෙසත් සේවය කර තිබේ. ප්‍රධාන දේශපාලන පක්ෂ ගැන කලකිරී සිටි ඔහු ළඟ ඒවාට විවේචනයක් තිබුණි. මංගල පින්සිරි සමරවීර යනු ප්‍රජාතන්ත්‍රවාදය ගැන සෘජු දැක්මක් හා කැපවීමක් ඇති අධිෂ්ඨානශීලී සහ ප්‍රසිද්ධ දේශපාලන චරිතයකි. එතෙක් පැවති රජයන් ගණනාවකට සිය සේවය ලබා දුන් ඔහු උතුර දකුණ යා කිරීමට දැඩි වෙහෙසක් ගෙන කටයුතු කළේය. පරණ හණමිටිකාරයන් දේශපාලනයෙන් ඉවත් කර තරුණයන්ට අවස්ථාව දෙන්න ඕනෑ කියා වෙනම වැඩ පිළිවෙළක් ‘විසම්මුතිය’ ගෙන ගියේය. ඔහු ඒ සඳහා තරුණ තරුණියන් රැස්වෙන්නට, විවිධ දේ ගැන නිදහසේ කතාබහ කරන්නට, වාදවිවාද කරන්න විශේෂයෙන් තැනක් ඔහුගේ වියදමින් සම්පාදනය කළේය. මංගලගේ ‘විසම්මුතිය’ ආරම්භ කළාට පසු ඊට එරෙහිව පැරණි දේශපාලනඥයන් බොහෝ දෙනෙක් අවලාද නැඟූහ. පසුගිය කොවිඩ් කාලයේ මංගල හදිසියේ මිය ගියේය. 2021 අගෝස්තුවේදී ඒ සිදු වූ ඔහුගේ මරණය ගැන ඇසෙන කතා හරි අමුතුය.
කොවිඩ් සංකුලතා හේතුවෙන් ඒ මරණය යට ගැහුවද අද අසන්නට ලැබෙන්නේ මංගලට අවමංගල සීනු හඬවනු ලැබුවේ කවුරුන්ද? යන ප්‍රශ්නයයි. ඔහුගේ හදිසි මරණය පිළිබඳ අලුත් තත්වයක් දැන් මතු වී තිබේ. කොවිඩ් මරණ ලෙස සලකා කඩිමුඩියේ, ආදාහනය කිරීම පිළිබඳ ඇසෙන්නේ ඇඟ කිලිපොලා යන කතාවකි.
මංගල මියයාමට පෙර සිය කුළුපගයකු වන ‘දෙරණ’ මාධ්‍ය ජාලයේ හිමිකරු වන දිලිත් ජයවීරට SMS එකක් යවමින් 'තමාව ගලවා ගන්නැ’යි ඉල්ලීමක් කර ඇත. ‘Rescue me’ යනුවෙන් සඳහන් කරමින් යවා ඇති ඒ පණිවිඩය මංගලගේ සමීපතමයන් දෙදෙනෙකු විසින්ද දැක තිබේ. ආයාචනයක් සේ යවන ලද මේ පණිවිඩයේ අරුත කුමක්ද? අසනීපයෙන් පසු වූ මංගල, ලංකා හොස්පිටල් හි ගෙවූ අවසන් දින කිහිපය තුළ සැබවින්ම සිදුවූයේ කුමක්ද? යන්න පිළිබඳව නොසන්සුන්කාරී ප්‍රශ්න මතු කරයි.
මංගලගේ මරණය කොවිඩ් වසංගතයේ ගොදුරක් ද? නැතිනම් වෙනත් ගුප්ත හස්තයක ගොදුරක්ද? යන්න දැන් මංගලගේ හිතවතුන් අතර දෝංකාර නඟන්නකි. ඔහු දිලිත්ට යැවූ කෙටි පණිවිඩයෙන් කීවේ තමා ප්‍රතිකාර ලබමින් සිටි ඒ පුද්ගලික රෝහල තුළ තමන්ට අනාරක්ෂිත තත්වයක් මතුවී ඇතැයි හැඟුණ නිසාද? ඔහුගේ මරණය ගෝඨාභය රාජපක්ෂ පාලනය සමඟ බැඳුණු කිසියම් කුමන්ත්‍රණයක කොටසක්ද?
ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයකු වූ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර වෙත යවන ලද ඒ කෙටි පණිවිඩයේ, මංගල තමන්ගේ ආරක්ෂාව ගැන තමන්ට ඇති බිය විස්තර කර ඇති බවද වාර්තා වෙයි. ඒ පණිවිඩය දුටු මංගලගේ සමීපතම සගයන්ට හැඟී ගොස් ඇත්තේ ‘තමා කාගේ හෝ ඉලක්කයකට ලක්ව ඇතැ’යි මංගල සිතන බවයි. ඒ අවස්ථාවේ එම රෝහලේ මංගල භාරව සිටි වෛද්‍යවරයා ගේ අනුදැනුමකින් තොරව නාඳුනන වෛද්‍යවරුන් දෙදෙනකු ඔහුගේ කාමරයට ඇතුළු වී ඔහුට යම් එන්නතක් දී තිබේ. මංගල බියට පත්වී තිබෙන්නේ ඒ සම්බන්ධයෙනි. ඔහු සිය හිතවතා වූ දිලිත් වෙත කෙටි පණිවිඩය යවා ඇත්තේ ඉන් අනතුරුවය.
මේ කතාව අපට අසන්නට ලැබෙන්නේ ‘ලංකා ඊ නිව්ස්’ පසුගියදා පළ කළ පුවතකිනි. ඒ පුවත මගින් ඔවුන් බරපතල ප්‍රශ්න කීපයක් මතුකර තිබුණි. මේ හඳුනා නොගත් වෛද්‍යවරුන් කවුරුන්ද? ඔවුන් ක්‍රියා කළේ කාගේ අධිකාරිය යටතේ ද? ඔහුගේ ප්‍රතිකාර අඩාල කරන්න හිතාමතා කළ සැලසුමක් තිබුණාද?
මංගල මියයන විට එවකට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපතිව සිටි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් කොවිඩ් කාර්ය සාධක බලකායේ පුර්ණ ග්‍රහණයට රට යටත්ව තිබුණි. සෞඛ්‍ය අංශය අධීක්ෂණය කෙරුණේ සෞඛ්‍ය ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ විසිනි. ඔහුගේ තීරණ බොහෝ විට මිලිටරි ආධිපත්‍යය දරන කොවිඩ් ප්‍රතිචාරය සමඟ සමපාත විය.
මංගලට ආරක්ෂිතව ප්‍රතිකාර කිරීම මෙහෙයවීමේදී කාර්ය සාධක බලකාය සහ සෞඛ්‍ය බලධාරීන් කිසියම් භූමිකාවක් ඉටු කළේ ද? මංගලගේ සමීපතමයන් කියන්නේ මංගලගේ කැමැත්තට පිටින් ලංකා හොස්පිටල් වෙත මාරු කිරීම බාහිර මැදිහත්වීමකින් සිදුවූ බවයි.
එකල පැවති උග්‍ර දේශපාලන ගැටීම් හමුවේ, ගෝඨාභය රාජපක්ෂ පාලනය පිළිබඳව මංගල කළ දැඩි විවේචන ඔහු ඉලක්කයක් බවට පත් කරන්නට ඇත. ඔහුගේ මිතුරන් මෙම මරණය හුදු අහම්බයක්ද? නැතහොත් විසම්මුතිය නිශ්ශබ්ද කිරීමේ විශාල සැලැස්මක කොටසක්ද? යන්න පිළිබඳව දැනටමත් පරීක්ෂණයක් ඉල්ලා ඇත.
අබිරහස තවත් වැඩි කළේ මංගලගේ දේහය කඩිනමින් ආදාහනය කිරීමයි. වැඩිදුර විමර්ශන සඳහා ඉඩ සැලසීමට භූමදානය සඳහා ඔහුගේ සමීප සගයන් කිහිප දෙනකු කළ ඉල්ලීම් නොතකා, බලධාරීන් කොවිඩ් ආරම්භයේ දී පැවති නීති උපුටා දක්වමින් ආදාහනය කිරීමට බලපෑම් කිරීමය.
මේ ක්‍රියා මාර්ගය ඔස්සේ, ස්වාධීන මරණ පරීක්ෂණයක් පැවැත්වීමට ඇති ඕනෑම හැකියාවක් ඵලදායී ලෙස අවලංගු කළ බවට විවේචන එල්ල වෙයි. මංගලගේ ආදාහනය නීත්‍යානුකූල මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගයක්ද? නැතහොත් එය හිතාමතාම සාක්ෂි මකා දැමීමට ගත් උත්සාහයක්ද? ඒ වන විට ජාත්‍යන්තර සෞඛ්‍ය මාර්ග උපදේශ අනුව කොවිඩ් වින්දිතයින් භූමදානය කිරීමට අවසර දී තිබුණි. ඒ නිසා මංගලගේ දේහය, ආදාහනය කිරීමට එවකට පැවති රජය විසින් කරන ලද දැඩි අවධාරණය පිටුපස ඇති චේතනාවන් පිළිබඳව තවදුරටත් සැක මතු කරයි.
මංගලගේ විශ්වාසවන්තයෙකු මෙන්ම වත්මන් ශ්‍රී ලංකා දේශපාලනයේ ප්‍රකට චරිතයක් වන දිලිත් ජයවීර ඔහුට මංගලගෙන් ලැබුණු කෙටි පණිවිඩය හෝ ඔවුන් අතර පැවති අවසන් සංවාද ගැන තවමත් මුණිවත රකියි. මංගලගේ භීතිය ගැන සහ ඔහුගේ අවසන් දිනවල සිදුවූ දේ පිළිබඳව දිලිත් ගේ නිහැඬියාව මතුවී ඇති ගින්නට පිදුරු දැමීමක් ලෙසට මංගලගේ මිතුරන්ගේ විශ්වාසයයි.
මෙම තොරතුරු හෙළිකිරීමට වඩා දිලිත්ජයවීර නිශ්ශබ්දතාව තෝරාගෙන ඇත්තේ ඇයි? එය දේශපාලන වශයෙන් පරිස්සම් වීමක් ද? නො එසේ නම් මංගලගේ මරණය හා සම්බන්ධ සිදුවීම්වල පසුපස සිට මෙහෙයවූ අයගෙන් තමාට අත්විය හැකි ප්‍රතිවිපාකවලට බියෙන් ද?
දේශපාලකයෙකු ලෙස දිලිත්ගේ ස්ථාවරය දැන් ඔහුව දැඩි විමර්ශනයකට ලක් කරයි. සිදුවීම් පිළිබඳ සෘජු දැනුමක් ඇති අයෙකු ලෙස, ඔහුගේ සාක්ෂියට ඇත්ත වශයෙන්ම සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ අගනා අවබෝධයක් ලබා දිය හැකිය.
මංගලගේ රෝහල් කාමරයේ සවි කර තිබු සැඟවුණු කැමරාවක් පිළිබඳව ද දැන් වාර්තා වී තිබේ. මේ රහස් කැමරාව, ඔහු පිළිබඳව තොරතුරු රැස් කිරීමට යම් බලවතකුගේ උපදෙස් මත සවි කරන ලද්දක් නම්, එවැනි තොරතුරු ඇත්නම් ඒවා මෙම ප්‍රහේලිකාව විසඳා ගැනීමට උපකාරී වනු ඇතැයි මේ ගැන උනන්දුවක් දක්වන අයගේ මතය වී තිබේ.
අනවසර පුද්ගලයින් මංගලගේ කාමරයට ඇතුළු වූ බවට සාක්ෂි කැමරාවට හසු වූයේ නම්, ඒවාත් මෙම මරණය පිළිබඳ ඇති කටකතා සනාථ කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ප්‍රබල සාක්කියක් වනු ඇත. කෙසේ වෙතත්, එම දර්ශන මතු නොවීම නිසා එය හිතාමතා යටපත් කිරීමක් ද යන්න ගැන සැකයක් මතුව තිබේ.
මංගලගේ මරණයට අදාළව නැඟෙන චෝදනා නොසලකා හැරිය නොහැකි තරම් බරපතළය. ස්වාධීන පරීක්ෂණයකින් මෙහි පහත දැක්වෙන ප්‍රධාන ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගත යුතුය. මංගලගේ කාමරයට ඇතුළු වූ නොදන්නා වෛද්‍යවරුන් කවුරුන්ද? පුද්ගලික රෝහලක් වූ එයට මංගල බාරව සිටි වෛද්‍යවරයාගේ අනුදැනුමක් නැතිව ආවේ කාගේ නියෝගයක් මත ද? ඒ වගේම ඔවුන් දුන් එන්නත ඔහුට නියම කර තිබුණු ප්‍රතිකාරවලට අයත් එකක් ද? මංගලගේ ප්‍රතිකාරවලට ජනරාල් ශවේන්ද්‍ර සිල්වා හෝ වෛද්‍ය අනිල් ජාසිංහ යම් ආකාරයකට හෝ සම්බන්ධ ද? වෛද්‍ය ප්‍රතිකාරවලට එහා ගිය හේතූවක් මත මංගලව වෙනත් පහසුකම්වලට මාරු කිරීමට උත්සාහ කළේද?
එය තනිකරම කෝවිඩ් ප්‍රොටෝකෝලය නිසා කළ දෙයක්ද, නො එසේ නම් වැඩිදුර විමර්ශන සිදුවීම වැළැක්වීමේ යටි අරමුණෙන් කළ දෙයක් ද? මේ ගැන දිලිත් ජයවීර දන්නේ මොනවාද? ඔහු මේ ගැන මුණිවත රකින්නේ ඇයි? මංගලගේ කාමරයට විශේෂ කැමරාවක් සවි කළේ කාගේ උවමනාවට ද? ඒ කුමක් සඳහාද? ඒ කැමරා දර්ශන තිබේ ද?
මංගලගේ මරණය 2021 වසරේ පැවති පුළුල් දේශපාලන සන්දර්භය තුළ තේරුම් ගත යුතුය. ඔහු රාජපක්ෂ රෙජීමයේ සෘජු විවේචකයෙකු ලෙසත්, මහා පරිමාණයෙන් සිදුවන දූෂණය, අධිකාරීවාදය සහ මානව හිමිකම් උල්ලංඝනයන් දැඩි ලෙස විවේචනය කළ දේශපාලනඥයන් අතලොස්සෙන් කෙනෙකි. ඔහුගේ මරණය හුදෙක් කෝවිඩ් වසංගතයේ ප්‍රතිවිපාකයක් ද? නැතහොත් ප්‍රබල විවේචකයෙකු නිහඬ කිරීමේ උපක්‍රමයක් ලෙස කොවිඩ් වසංගතය උපයෝගී කර ගත්තේද?
ඔහුගේ මරණය සිදුවූ වකවානුවේ පැවති තත්වයන්ට අනුවත් එමෙන්ම, රහසේ හුවමාරු වන කටකතා නිසාත් මේ සම්බන්ධයෙන් ගැඹුරින් විමර්ශනයක් කිරීමේ අවශ්‍යතාව පවතී. මෙය එක්තරා විධියකින් එක් පුද්ගලයෙකුට පමණක් සීමා වූ කරුණක් නොව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, වගවීම සහ යුක්තිය කෙරෙහි එල්ල කළ ප්‍රබල ප්‍රහාරයකි. මේ පිළිබඳව ඇසුණු කතාව ඉදිරිපත් කළ ‘ලංකා ඊ නිව්ස්’ ඒ වාර්තාව අවසානයේ මෙසේ ප්‍රශ්න කරයි:
‘මංගලගේ මරණය පුද්ගලික ඛේදවාචකයකට වඩා වැඩි දෙයකි. එය යුක්තිය සහ විනිවිදභාවය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම පරීක්ෂා කිරීමකි. ඔහුගේ අවසන් කෙටි පණිවිඩය වටා ඇති ප්‍රශ්න, ඊට හමුදාවට සම්බන්ධ වෛද්‍යවරුන් සම්බන්ධ වීම, කඩිමුඩියේ ආදාහනය කිරීම සහ දිලිත් ජයවීර වැනි ප්‍රධාන චරිතවල ක්‍රියාකාරකම් පිළිබඳ පිළිතුරු ඉල්ලා සිටී.
‘සත්‍යය රැකීමට තම ජීවිතය කැප කළ මිනිසෙකුට ඔහුට ජාතියේ අවම ණය වන්නේ ඔහුගේ මරණය පිළිබඳ ගැඹුරු විමර්ශනයකි. එතෙක්, ඔහුගේ අවසාන පාඨය වන “මාව බේරාගන්න” යන ආයාචනය ශ්‍රී ලංකාවේ හෘද සාක්ෂිය තුළ හොල්මන් කරනු ඇත. “යුක්තිය ප්‍රමාද වීම යනු යුක්තිය ප්‍රතික්ෂේප කිරීම” බව සිහිපත් කරමු’.
0 Comments