ශ්‍රී ලංකා රාජ්‍ය සංස්ථාවල පාඩුව දුරු කර ලාබ ලැබීමට කළ යුතු දේ: පිටරට ආදර්ශවලින් ගත හැකි පාඩම්

ශ්‍රී ලංකා රාජ්‍ය ව්‍යාපාරික සංස්ථා (State Owned Enterprises) කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල බරක් වී ඇත. එයට හේතුව නිසි කළමනාකරණයක් නොමැති නිසා මෙම සමාගම් බොහෝවිට පාඩු ලැබීමය. මහ බැංකු වාර්තා අනුව 2023 දී රාජ්‍ය ව්‍යාපාරික සංස්ථා 430කට වැඩි සංඛ්‍යාවක් තිබුණි. එයින් යම් දියුණුවක් පෙන්නුම් කළේ ආයතන 50ක් පමණි. අනෙක් ආයතන සියල්ල වසර ගණනක් තිස්සේ පාඩු ලබමින් තිබේ. මෙතෙක් ඒවා පවත්වා ගෙන ගියේ මහජනතාවගෙන් ලැබෙන බදු මුදල්වලිනි. මේවා ලාභ ලබන ආයතන බවට පත් කරන්නේ කෙසේ ද? ඒ සඳහා ලෝකයේ රටවල් ගණනාවකින් අපට ආදර්ශ සොයා ගත හැකිය. මේ ලිපියෙන් අප සාකච්ඡා කරන්නේ ඒ පිළිබඳවය. 

පළමුව මෙම ආයතන පාඩු ලබන්නට හේතු වූ කරුණු අවබෝධ කර ගත යුතුය. ඒවා එකින් එක පෙළ ගස්වා බැලුවොත් මෙසේය: 

1. ව්‍යාපාර අරමුණක් නැතිව ආයතන පිහිටුවීම. 
2. නිසි සුදුසුකම් නැති, කළමනාකරණ දැනුමක් නැති, හෙන්චයියලා පත් කිරීම. 
3. රජයේ විගණන උපදෙස් නොසලකා කටයුතු කිරීම 
4. අකාර්යක්ෂමතාව, නාස්තිය, අල්ලස හා දූෂණය උපරිමයෙන් සිදු වීම. 
5. සේවා සැපයුම අතින් ඉතා දුර්වල අඩියක පැවතීම. 

බොහෝ සංස්ථා මේ ගණයට වැටෙන ඒවාය. මෙතෙක් ඒවා පවත්වා ගෙන ගියේ මහා භාණ්ඩාගාරයෙන් ලැබුණු අරමුදල්වලිනි. මේ නිසා වසරක් පාසා ජනතාවට විශාල බදු බරක් පැටවීමට රජයට සිදුවිය. ජනතාවගේ බදු මුදල් ගිල දමන රාස්සයින් බඳු මේ සංස්ථා අප වැටී සිටින ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ඒමට නම් ඒවා වසා දැමීමට හෝ විකුණා දැමීමට අන්තර්ජාතික මුල්‍ය අරමුදල (IMF) පවා යෝජනා තර තිබේ. 

මේ පාඩු ලබන ආයතන පිළිබඳව අවධානය යොමු කොට මෙතෙක් කිසිම දේශපාලන පක්ෂයක් ඊට පිළියම් යෙදීමට උනන්දුවක් නොදැක්වුයේ එහි ඇති බරපතලකම නොසලකා හරිමිනි. ඔවුන්ට අවශ්‍ය වූයේ තම හෙන්චයියලාට රැකියා අවස්ථා සපයා දීම පමණි. වගකීම් දැරීමට නුසුදුසු, අදක්ෂ අය පත් කිරීම නිසා නිසි ඵලදායිතාවක් නොලැබුණි. ඒවාට පත් කෙරුණු කළමනාකාරිත්වයද ඒ ආයතනවල දියුණුව ගැන උනන්දු නොවූයේ ඒ ගැන වගවීමක් ඔවුන්ගෙන් බලාපොරොත්තු නොවූ නිසාය. 

වසර 77ක් තිස්සේ පැවති නාස්තිය, අල්ලස, දූෂණය හා වංචනික ක්‍රියා නිසා, රට ණය බරකට කොටු විය. විදේශ ණය ගෙවා ගත නොහැකි බංකළොත් රටක් බව ප්‍රකාශයට පත් කෙරිණ. ඊට වගකිව යුතු ප්‍රධාන දේශපාලන බලවේග පරාජය කර අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජනතාව විසින් බලය ලබා දුන්නේ ‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ ලබා ගැනීමේ අරමුණ ඇතිවය. දැනටමත් ඔවුන් මහජන මුදල් නාස්තිය, අල්ලස හා දූෂණය නවතා දමා ඇත. විදේශ විනිමය ආදායම වර්ධනය කර ගැනීම ගැන පියවර ගනිමින් සිටියි. ඊළඟට ඔවුන්ගේ අවධානය යොමු වනු ඇත්තේ රජයට බරක් වී ඇති රාජ්‍ය සමාගම් 430කට අධික ආයතන කෙරෙහිය. අත්‍යවශ්‍ය මහජන සේවා සපයන රාජ්‍ය සංස්ථා හා සමාගම් විකිණීමේ අදහසක් නැති බවත් ඒවා ප්‍රශස්ත සේවාවක් සපයන ලාබ ලබන ආයතන බවට පත් කිරීම රජයේ අරමුණ බවත් ප්‍රකාශ කර ඇත. 

මේ ආයතන දියුණු කිරීම සඳහා ප්‍රවේශයක් ලෙස අපේ කලාපයේ රටවල් ඔවුන්ගේ රාජ්‍ය සමාගම් ලාබ ලබන ආයතන බවට පත් කළේ කෙසේදැයි විමසා බැලීම වටියි. ඒ සඳහා සිංගප්පූරුව, වියට්නාමය, මැලේසියාව, චීනය හා ඉන්දියාව වැනි රටවල් තමන්ගේ රාජ්‍ය සංස්ථා හා සමාගම් ලාබ ලබන ආයතන බවට පත් කළ අයුරුත්, ඒ අත්දැකීම ශ්‍රී ලංකාවට යොදාගත හැකි ආකාරයත් කෙටියෙන් පෙන්වා දීම මේ ලිපියේ අරමුණ වේ.

1. සිංගප්පූරුවේ ‘Temasek ආදර්ශය’ හඳුන්වා දීම 

සිංගප්පූරුව, Temasek Holdings නමින් විශේෂිත ආයතනයක් පිහිටුවා ඇත. සිගප්පූරුවට අයත් සියලුම රාජ්‍ය සමාගම් කළමනාකරණය කරන්නේ ඒ සමාගමය. එය රජයේ බලපෑම්වලින් තොරව, ස්වාධීනව ක්‍රියාත්මක වන ආයතනයකි. එයින් පාලනය වන ප්‍රමුඛ ආයතන ලෙස සිගප්පූරු ගුවන්සේවය වන Singapore Airlines සහ දුරකථන සන්නිවේදන සමාගම වූ Singtel වැනි ආයතන දැක්විය හැකිය. ඒවා ලාබ ලබන ව්‍යාපාර ලෙස දැන් දියුණු වී ඇත. 

ශ්‍රී ලංකාවට මෙය ක්‍රියාත්මක කළ හැකි ආකාරය: රාජ්‍ය සමාගම් කළමනාකරණය සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවීම. එහි පාලනය සඳහා රාජ්‍ය මැදිහත්වීම්වලින් තොර වෘත්තීය පදනමක් ඇති කළමනාකරුවන් පත් කිරීම. වගකීම සහ වගවීම සහතික කිරීම. ඒ රාජ්‍ය සමාගම් වෙළඳපොළ තරගයට ගැළපෙන ආකාරයට සංවිධානය කිරීම.උදාහරණයක් ලෙස, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලන්කන් ගුවන් සේවා සහ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) යන ආයතන සඳහා මෙම ආකෘතිය අනුගමනය කළහොත්, එයින් වඩාත් හොඳ ප්‍රතිඵල ලැබිය හැකි වනු ඇත. 

2. වියට්නාමයේ රාජ්‍ය සමාගම් සංවිධාන ආකෘතිය අනුගමනය කිරීම 

1990 දී වියට්නාමයේ පැවති රාජ්‍ය සමාගම් ගණන 6000ක් විය. ඒවා බොහොමයක් ලාබ ලබන සමාගම් ය. එහිදී පාඩු ලබන දුර්වල තත්වයේ තිබූ රාජ්‍ය සමාගම් එක් කර, නව විශාල ව්‍යාපාර සමූහ බිහි කරන ලදී. 

ශ්‍රී ලංකාවට මෙය ක්‍රියාත්මක කළ හැකි ආකාරය: කුඩා, පාඩු ලබන රාජ්‍ය සමාගම් එකට එක්කර, අවශ්‍ය නිසි කලමනාකරණයක් සහිත, ආදායම් ඉලක්ක ලබා දී, වගකීම් හා වගවීම් ඇති ආයතනයක් බවට පත් කිරීම. බලශක්ති හා ගමනාගමන රාජ්‍ය සමාගම් වෙනුවෙන් විදේශීය ආයෝජන ලබා ගැනීම. එසේ ලාබ නො ලැබෙන ආයතන පුද්ගලික අංශයට පැවරීම. උදාහරණයක් ලෙස, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) සහ පුද්ගලික බස් සේවා එකට එක් කර, ස්වාධීන පාලනයක් ඇතිව ලාබ ලබන අර්ධ රාජ්‍ය සංස්ථාවක් බවට පත් කළ හැක. 

3. මැලේසියාවේ රාජ්‍ය අනුබද්ධ සමාගම් අනුගමනය කිරීම 

2005 සිට මැලේසියාව රාජ්‍ය සමාගම් ප්‍රති සංස්කරණය සඳහා දස අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කළේය. ඒ අනුව රාජ්‍ය අනුබද්ධ සමාගම් ඇති කොට, ලාබ ලැබීමේ අරමුණෙන් පුද්ගලික අංශය ද ඒ සඳහා එක් කර ගනු ලැබීය. මෙහිදී, රාජ්‍ය අනුබද්ධ සමාගමේ විධායක කළමනාකරුවන් සඳහා කාර්ය සාධක දර්ශක (KPIs) ලබා දුන්නේය. එසේම නිරන්තර විගණනය හා මුල්‍ය විනිවිද භාවය හඳුන්වා දෙනු ලැබීය. 

ශ්‍රී ලංකාවට මෙය ක්‍රියාත්මක කළ හැකි ආකාරය: රාජ්‍ය සමාගම්වල විධායක කළමනාකරුවන්ට ලාබ ලැබීම වෙනුවෙන් ඉලක්ක නියම කර ඒවා සාර්ථකව සපුරන අයට ආකර්ශනීය වැටුප් වර්ධක ලබා දීම හා ප්‍රතිඵල නොලද අය තනතුරුවලින් ඉවත් කිරීම. විනිවිද භාවය සහතික කිරීමට වාර්ෂික මුල්‍ය වාර්තා ප්‍රසිද්ධ කිරීම. ලාභදායී රාජ්‍ය සමාගම්වල කොටස් වෙළඳ පොළට යොමු කිරීම. 

4. චීනයේ වෙළඳපොළ-කේන්ද්‍රීය රාජ්‍ය සමාගම් ආකෘතිය 

චීනය ඉතා සාර්ථකව රාජ්‍ය සමාගම් වෙළඳපොළ තරඟ කිරීමට යොමු කළේය. රාජ්‍ය පාලනය තබා ගෙන පුද්ගලික අංශයට කොටස් විකුණනු ලැබීය. එහි ව්‍යුහය පුද්ගලික සමාගමක් ලෙස සකස් කෙරිණ. ලබා ලැබීමේදී දිරි දීමනා හඳුන්වා දෙනු ලැබීය. වෙළඳපොළට උචිත භාණ්ඩ නිපදවනු ලැබීය. මෙහිදී රාජ්‍ය සමාගම්වල කොටස් විකුණා, විදේශ වෙළඳපොළ වෙත පිවිසීම සිදු විය. 

ශ්‍රී ලංකාවට මෙය ක්‍රියාත්මක කළ හැකි ආකාරය: ලාභදායී රාජ්‍ය සමාගම්වල කොටස් වෙළඳපොළට නිකුත් කිරීම. එසේම රාජ්‍ය සමාගම් වෙළඳපොළෙහි තරඟ කිරීමට අවශ්‍ය ආකාරයට ප්‍රති සංවිධානය කිරීම. විදේශ වෙළඳපොළ ඉලක්ක කර භාණ්ඩ නිෂ්පාදනයට රාජ්‍ය සමාගම් දිරිමත් කිරීම. 

5. ඉන්දියාවේ රාජ්‍ය හා පුද්ගලික අංශ ඒකාබද්ධ වැඩපිළිවෙළ 

ඉන්දිය රජය අත්‍යවශ්‍ය නොවන රාජ්‍ය සමාගම් (නිද: හෝටල්, සුළු කර්මාන්ත ආදිය) සම්පූර්ණයෙන් ම පුද්ගලික අංශයට විකිණූ අතර, ප්‍රවාහන, බලශක්තිය, පොදුකාර්ය සංවිධාන කටයුතු සිදු කෙරෙන, අත්‍යවශ්‍ය රාජ්‍ය සමාගම්වල කොටස් වැඩි ප්‍රතිශතයක් පාලනය සඳහා තබා ගෙන ඉතිරි ඒවාද විකුණනු ලැබීය. ලාබ ලබන ආයතනවල කොටස්, කොටස් වෙළෙඳපොළෙහි අළෙවි කෙරිණ. 

ශ්‍රී ලංකාවට මෙය ක්‍රියාත්මක කළ හැකි ආකාරය: ලාභ නොලබන රාජ්‍ය සමාගම් පුද්ගලික අංශයට පැවරීම. විදුලිබලය, ප්‍රවාහනය, පෙට්රෝලියම් ක්ෂේත්‍ර සඳහා රාජ්‍ය හා පුද්ගලික අංශ එ්කාබද්ධ වැඩපිළිවෙළක් ඇති කිරීම. ලාභ ලබන ආයතනවල කොටස් වෙළෙඳ පොළට නිකුත් කිරීම. (නිද: ඉන්දියාවේ ‘එයා ඉන්ඩියා’ සමාගමේ කොටස්, 2022 පුද්ගලික අංශයට පැවරූ අතර අද එය ආණ්ඩුවට බරක් වී නැත. පසුගියදා ඒ සමාගම අලුතින් එයා බස් 500ක් ඇණවුම් කර ඇත. ශ්‍රී ලංකන් ආයතනයට ද ඒ ක්‍රමය යෙදුවොත් රජයට දැන් ලබන පාඩුව මග හැර වාර්ෂිකව බිලියන ගණනින් උපයා ගැනීමට හැකි වනු ඇත.) 

නිගමනය: ශ්‍රී ලංකාවේ රාජ්‍ය සමාගම් වෙනස් කිරීම 

රාජ්‍ය සමාගම් ප්‍රතිව්‍යුහ ගත කොට ඒවා පාලනය සඳහා ස්වාධීන කළමනාකරණ ආයතනයක් පිහිටුවීම. පාඩු ලබන රාජ්‍ය සමාගම් එකට එක් කර සංවිධිත සමාගමක් ස්ථාපිත කිරීම. අත්‍යවශ්‍ය නොවන සමාගම් පුද්ගලික අංශයට විකිණීම. රාජ්‍ය සමාගම් සඳහා පුද්ගලික ආයෝජන දිරිමත් කිරීම. මේ සියලු සමාගම්, සේවා සපයන සමාගම් පවා ලාබ ලැබීම ඉලක්ක කර ගෙන පවත්වා ගෙන යාම. මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළහොත්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය සමාගම් හා සංස්ථා ලාබ ලබන ව්‍යාපාර බවට පත් කරගත හැකිය.

අදහසක් පළ කරන්න (COMMENTS)

0 Comments