ජනපති පියාගේ සංවාදවලට රහසිගතව සවන්දුන් පුතා

ස්ටැන්මෝ චන්ද්‍රවංකය හෙවත් ‘ස්ටැන්මෝ ක්‍රෙසන්ට්’ යනු ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය සමඟ දෝංකාර දෙන නමකි. එය කලක් හිටපු අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීරගේ නිල නිවස විය. පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ දේශපාලන ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානයක් බවට පත්විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම පාරේ නිල නිවසේ සිදු කළ අලුත්වැඩියාවක් නිසා ඔහුට තාවකාලිකව කොළඹ බුලර්ස් පටුමගේ පිහිටි ‘ස්ටැන්මෝ ක්‍රෙසන්ට්’ නිවසට පැමිණීමට සිදු විය. ඉන්පසු එම නිවස මහින්ද රාජපක්ෂගේ අභිරහස් දේශපාලන කුමන්ත්‍රණවල මෙහෙයුම් මධ්‍යස්ථානය බවට පත් වී තිබේ. 


ඒ අනුව ‘ස්ටැන්මෝ ක්‍රෙසන්ට්’හිදී මේ අභිරහස් මෙහෙයුම් සිදුකර ඇත්තේ මහින්ද රාජපක්ෂගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ විසිනි. රහසේ දුරකථනවලට සවන් දීම, මහින්ද හමුවීමට පැමිණෙන අයගේ සංවාද රහසේ පටිගත කිරීම සහ වෙනත් රහසිගත මෙහෙයුම් ගණනාවක් මේ ස්ථානයේ සිට මෙහෙයවා ඇති බවට පසුගිය දිනවල චෝදනා රැසක් එල්ල විය. අපට පසුගියදා ඇසුණු කතා අතර එය රහස් ඔත්තු බැලීමේ ත්‍රාසජනක කතාවක් මෙන් කියවෙන කතාවකි. පුතෙකු, තාක්ෂණය උපයෝගී කරගනිමින් තම පියා හමුවීමට එන අමුත්තන්ගේ සංවාද රහසිගතව පටිගත කිරීම මේ කතාවේ තේමාවයි. 

ස්ටැන්මෝ ක්‍රෙසන්ට් වෙත පා තැබූ ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ පවුලේ සාමාජිකයන් ගේ පවා සාකච්ඡා යෝෂිතගේ මෙහෙයවීමෙන් රහසිගතව මෙහිදී පටිගත කර ඇත. මෙසේ දුරකථනවලට සවන්දීම, ආරක්ෂක හේතූන් සඳහා හෝ තොරතුරු රැස් කිරීමේ චේතනාවෙන් කරන ලද ඒවා නොව, වෙනත් මූල්‍යමය වාසි පුද්ගලික වාසි ලබා ගැනීමේ අරමුණෙන් සිදුකර ඇති ඒවා බව දැන් හෙළිවී තිබේ. යෝෂිත රාජපක්ෂට චෝදනා එල්ල වී ඇත්තේ මෙම රහසිගත මෙහෙයුම් මහින්ද රාජපක්ෂ මහතා වෙත ගෙන ආ ගනුදෙනු, අනුග්‍රහයන් සහ ගැටලු පිළිබඳ අභ්‍යන්තර තොරතුරු ලබා ගැනීමට යොදා ගත් බවටයි. මෙසේ තොරතුරු දැනගන්නා යෝෂිත අතරමැදියෙකු වී, ගනුදෙනු තැරැව්කරුවකු ලෙස, "විසඳුම්" ඉදිරිපත් කරමින්, එම ක්‍රියාවලියේදී සැලකිය යුතු ලාභයක් උපයාගත් බවටත් දැන් චෝදනා එල්ල වී තිබේ. 

යෝෂිත ඔහුගේ උපාය මාර්ගික ප්‍රවේශය තුළ දක්ෂයකු වුවත් අවාසනාවකට ඔහු එය යොදා ගත්තේ ඔහුගේ පුද්ගලික වාසි සඳහා බව, කලක් රාජපක්ෂ පවුල සමඟ සමීපව කටයුතු කළ විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු විසින් ඒ පිළිබඳව සුවිශේෂී හෙළිදරව්වක් කර ඇත. ඒ කාලයේදී ‘ස්ටැන්මෝ ක්‍රෙසන්ට්’ හි ඇති වූ සංවාද තවදුරටත් පුද්ගලික, රහසිගත, ඒවා නොවූ බවත්, ඒවා යෝෂිත අදාළ පුද්ගලයින් සූරා කෑමට උපක්‍රමිකව භාවිතා කළ බවත් ඒ නිලධාරියා චෝදනා කළේය. යෝෂිතගේ මේ දුරකතන හා පුද්ගලික සංවාද වලට රහසේ සවන්දීමේ කතාව ‘ස්ටැන්මෝ ක්‍රෙසන්ට්’ නිවසින් අවසන් නොවේ. තවත් සුවිශේෂී දේශපාලන ලිපිනයක් වන අරලියගහ මන්දිරයේ පිහිටි මහින්ද රාජපක්ෂගේ කාර්යාලය ද එලෙසම රහසිගත මෙහෙයුම් සඳහා යෝෂිත රාජපක්ෂ විසින් යොදාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ. 

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි සමයේ අරලියගහ මන්දිරය සිය නිල නිවස හා කාර්යාලය ලෙස භාවිත කළ අතර එම කාල වකවානුවෙදී ද යෝෂිතගේ ග්‍රහණයෙන් අරලියගහ මන්දිරය නිදහස්ව නොතිබී ඇත. මහින්ද රාජපක්‍ෂ අරලියගහ මන්දිරයේදී හමුවූ විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ නියෝජිත පිරිස් යෝෂිතගේ රහසිගත මෙහෙයුම් සඳහා නොදැනුවත්වම හසුවී තිබේ. මෙසේ පෞද්ගලිකත්වය සහ අන්තර්ජාතික සම්මුතීන් උල්ලංඝනය කිරීම දුරදිග යන ප්‍රතිවිපාක ඇති කළ හැකි බව විවේචකයන්ගේ තර්කයයි. එවැනි ක්‍රියා සත්‍ය නම් මෙය රාජ්‍ය තාන්ත්‍රික සම්මුතීන් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර ගෝලීය භූමිකාවේ දී ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට කැළලක් ඇති විය හැකිය. මෙම ගින්නට තෙල් එකතු කිරීම රාජ්‍ය බැංකු සම්බන්ධ චෝදනා ය. යෝෂිත රාජපක්ෂ තමන්ට දුරකථන ඇමතුම් ලබා දෙමින් විශාල මුදල් ප්‍රමාණයන් නිශ්චිත ගිණුම්වලට මුදාහරින ලෙසට උපදෙස් දුන් බවට සාක්කි දෙන්නට රාජ්‍ය බැංකුවල හිටපු සභාපතිවරුන් කිහිප දෙනෙකු ඉදිරිපත් වී ඇත. 

වාර්තා වන පරිදි මිලියන ගණනින් දිවෙන මෙම අරමුදල් යෝෂිත විසින් තෝරා ගන්නා ලද පුද්ගලයන්ට ණය හෝ අයිරා ලෙස බෙදා හැර ඇත. මෙම අරමුදල් ලබාගත් අය යෝෂිතට ඔහුගේ ‘කොටස’ ගෙවා ඔහු මුල්‍ය අතරමැදියෙකු බවට පත් කර ඇතැයි පැවසේ. මෙසේ රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සදාචාරාත්මක ගැටළු මතු කරනවා පමණක් නොව රාජපක්ෂ යුගයේ ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතනවල අඛණ්ඩතාව ද ප්‍රශ්න කරයි. දුරකථනවලට සවන්දීම සහ මූල්‍ය ගනුදෙනු සඳහා මැදිහත්වීම්වලට අමතරව සැකකටයුතු දේපළ ගනුදෙනු මෙහෙයවූ බවට ද යෝෂිත රාජපක්ෂට චෝදනා එල්ල වී තිබේ. පුද්ගලික සංවාදවලින් උකහාගත් තොරතුරු භාවිතා කරමින්, ඔහු ලාභදායක ඉඩම් සහ දේපළ අවස්ථා හඳුනාගෙන, ඒ හරහා සිය බලය අයුතු ලෙස පාවිච්චි කරමින් කෝටි ගණනින් මුදල් උපයා ඇත. යෝෂිතගේ මෙම දුෂිත ගනුදෙනු පිළිබඳව හෙළි කළ රාජපක්ෂ පවුලේ හිටපු හිතවතෙකු පවසා ඇත්තේ ඉඩම් ආරවුල් හෝ දේපළ අත්පත් කර ගැනීම් සඳහා උපකාර පතා මහින්ද රාජපක්‍ෂ හමුවීමට යන ව්‍යාපාරිකයන් හට යෝෂිත උදව් කරන බව මවාපාමින් තමන්ගේ අවශ්‍යතා ඉටුකර ගත් බවත්, එය බලය සහ විශ්වාසය අමු අමුවේ අයුතු ලෙස භාවිත කිරීමක් බවත්ය. 

හිටපු ජනාධිපති වරයා ගේ පුත් යෝෂිත රාජපක්ෂට එල්ල වන චෝදනාවලින් පෙනී යන්නේ යෝෂිතගේ ක්‍රියා බාහිර ඉලක්කවලට පමණක් සීමා නොවූ බවයි. ඔහු තම පියාට සමීප අයව අඩපණ කිරීමට ද උත්සාහ කර තිබේ. මාලක සිල්වා නමැති නාවික හමුදා නිලධාරියා මහින්ද රාජපක්ෂගේ සමීපතමයෙක්ව සිට ඇති අතර ආරංචි මාර්ගවලට අනුව යෝෂිත, මාලක - මහින්ද සමඟ ඇති සම්බන්ධය දුටුවේ තර්ජනයක් ලෙසය. එනිසාම මාලක ජනාධිපතිවරයාගෙන් අතේ දුරින් තබා ගැනීමට යෝෂිත ක්‍රියා කර තිබේ. එය තරඟකාරිත්වය තුරන් කර සිය ආධිපත්‍යයට තහවුරු කර ගැනීම සඳහා ගණනය කළ පියවරක් විය හැකි බව හිටපු සහායකයෙක් පැවසීය. දුරකථනවලට රහසේ සවන්දීම රාජ්‍ය තාන්ත්‍රික සම්මුතීන් කඩකිරීම් පිළිබඳව ද කනස්සල්ල මතු කර ඇත. 

මහින්ද රාජපක්ෂ හමුවීමට ස්ටැන්මෝ ක්‍රෙසන්ට් වෙත පැමිණි විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින් හා හිටපු ජනාධිපතිවරයා අතර ඇතිවූ සාකච්ඡා ඔවුන්ගේ අනුදැනුමකින් තොරව පටිගත කර ඇති බව වාර්තා වේ. මෙසේ යෝෂිතගේ මැදිහත්වීමෙන් රාජ්‍ය තාන්ත්‍රික සම්මුතීන් උල්ලංඝණය කිරීම රටක් ලෙස ශ්‍රී ලංකාව අපහසුතාවට පත් කිරීමක් පමණක් නොව නීතිමය ප්‍රශ්නයක් ද විය හැකි බව රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවීණයන්ගේ මතයයි. මෙම තත්ත්වය පිළිබද විධිමත්ව පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍ර කිහිපයක් ඉඟි කර ඇති අතර චෝදනා ඔප්පු වුවහොත්, මෙය සැලකිය යුතු රාජ්‍යය තාන්ත්‍රික බිඳවැටීමකට තුඩු දිය හැකිය.ජාතීන් අතර විශ්වාසය ගොඩනැගී ඇත්තේ ගෞරවය සහ රහස්‍යභාවය මත වන අතර, මෙම එල්ලවන චෝදනා එම පදනම බිඳ දමන බව කොළඹ පදිංචි ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් පැවසීය. 

යෝෂිත රාජපක්ෂට එරෙහි චෝදනා සම්බන්ධයෙන් අති ප්‍රබල කෝපයක් ඇති වී ඇති අතර, බොහෝ දෙනා ඉල්ලා සිටින්නේ පුළුල් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. සිවිල් සමාජ කණ්ඩායම්, විරුද්ධ පක්ෂ සහ රාජපක්ෂ පවුලේ හිටපු හිතවතුන් පවා වගවීම ඉල්ලා ඇත. නීති විශාරදයින් තර්ක කරන්නේ දුරකථනවලට සවන් දීම, මූල්‍ය උපාමාරු සහ දේපළ ගනුදෙනු බරපතල අපරාධ බවයි. මෙම චෝදනා සත්‍ය නම්, එය දැඩි ලෙස බලය අනිසි ලෙස භාවිතා කිරීමක් සහ මහජන විශ්වාසය පාවා දීමක් බවත් විමර්ශනය කර වගකිවයුත්තන්ට නඩු පැවරීමට බලධාරීන් කඩිනමින් ක්‍රියා කළ යුතු බවත්, කොළඹ ප්‍රදේශයේ නීතිඥයෙක් පැවසීය. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) දුරකථන ඇමතුම් ලබා දීම සහ මූල්‍ය යෝජනා ක්‍රම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා දේශපාලනය තුළ රාජපක්ෂ පවුලේ බලපෑම උපුටා දක්වමින්, විවේචකයින් පරිපූර්ණ පරීක්ෂණයක සම්භාවිතාව පිළිබඳව සැක පහළ කරති. යෝෂිත රාජපක්ෂට එල්ල වී ඇති චෝදනා හුදකලා සිදුවීම් නොව රාජපක්ෂ යුගයේ පුළුල් බල අපයෝජන රටාවක කොටසකි. දූෂණ චෝදනාවල සිට මානව හිමිකම් කඩකිරීම් දක්වා රාජපක්ෂ පවුල වසර ගණනාවක් තිස්සේ විවිධ මතභේදවලට මුහුණ දී ඇත. මෙම නවතම මගඩිය හරහා අවධාරණය කරන්නේ පාලනය නොකළ බලයේ අන්තරායන් සහ ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් වගවීමේ යාන්ත්‍රණයක අවශ්‍යතාවයි. එක් දේශපාලන විශ්ලේෂකයෙකු සඳහන් කළේ රාජපක්ෂ පවුල දැරූ අතිවිශාල බලය හා එම බලය පුද්ගලික වාසි සඳහා කෙතරම් පහසුවෙන් භාවිත කළ හැකිද යන්න මෙම සිද්ධියෙන් පැහැදිලි වන බවයි. 

ස්ටැන්මෝ ක්‍රෙසන්ට් හා අරලියගහ මන්දිරයේ සිදුවූ මෙම රහසිගත ක්‍රියාවන් යනු තාක්‍ෂණය, දේශපාලනය සහ පරීක්ෂා නොකළ අභිලාෂයේ ඡේදනය නිසා ඇති වන අවදානම් පිළිබඳ පැහැදිලි මතක් කිරීමකි. යෝෂිත රාජපක්ෂට එරෙහි චෝදනා තවමත් ඔප්පු වී නොමැති අතර, ඒවා ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමයේ විනිවිදභාවය සහ වගවීමේ හදිසි අවශ්‍යතාව ඉස්මතු කරයි. දැනට, ස්ටැන්මෝ ක්‍රෙසන්ට් හි ශාලා නිශ්ශබ්දව පවතී, නමුත් එහි රහස්වල දෝංකාරය ජාතිය පුරා ප්‍රතිරාවය කරයි. ප්‍රශ්නය නම්: යුක්තිය කවදා ඉටු වේවිද? (ලංකා ඊ නිව්‍ස් ඇසුරෙනි)

අදහසක් පළ කරන්න (COMMENTS)

0 Comments