මීට වසර 46කට උඩදී, 1979 දී රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන, ක්‍රීඩා හා යෞවන කටයුතු බාර ඇමතිව සිටි කාලයේ ආරම්භ කළ ජාතික තරුණ සේවා සභාව තවමත් ඔහුගේ බූදලයක් ලෙස පාවිච්චි කරන බව පසුගියදා එහි ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීරගේ සභාපතිත්වයෙන් පෙබරවාරි 18 පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා තමන් බංකොලොත් වූ රටක් ගොඩගත්තේ යැයි පාරම්බාමින් බංකොලොත් වූ රටේ ඉතිරිව තිබු මුදල්ද කිසිදු හිරිකිතයකින් තොරව ගසා කෑම සඳහා තම අගසව් දෙදෙනාගෙන් එකෙකු වූ හිටපු තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දුට ඉඩහැර බලා සිටි පැහැදිලිය.
තරුණ පරපුරට මුවා වී දේශපාලන ඇඟිලි ගැසීම් හා මහා පරිමාණයේ ගසාකෑම් රැසක් එම ආයතනය තුළ සිදුවී ඇති එකම කමිටුව ඉදිරියේ අනාවරණය විය. පසුගිය ජනාධිපතිවරණයේ දී ඔහුට අවශ්‍ය ප්‍රචාරක වියදම් ලබා ගැනීමට ඔහුගේ අනුගාමිකයන් සියලු ආකාරයේ නීතිවලින් රිංගා යමින් කළ අකටයුතු හා මගඩි රැසක් හෙළි විය. තරුණ සේවා සභාව දේශපාලනඥයන්ගේ දූෂණ, වංචා හා අක්‍රමිකතාවලට තෝතැන්නක් වූ බව හෙළිවිය.
ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර දිනයේදී තමා ඇතුළු මූල්‍ය නිලධාරීන් තිදෙනකුට රු. මිලියන 100ක ගෙවීමක් සිදු කිරීමට සහතික කරන ලෙස බලපෑමක් එල්ල වූ නිසා රැකියාව බේරා ගැනීමට තමා ඇතුළු නිලධාරීන්ට නියමිත ක්‍රමවේදයෙන් තොර ව මුදල් ගෙවීම සහතික කිරීමට සිදුවූ බවට මූල්‍ය නිලධාරිනියක විසින් කෝප් කමිටුව හමුවේ සිදුකළ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝවක් පසුගිය සතිය පුරා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.
මේ හෙළිදරවුව සිදු වූයේ ජාතික තරුණ සේවා සභාවේ සහ ශ්‍රී ලංකා යූත් සර්විසස් (පෞද්ගලික) සමාගමේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා, වර්තමාන කාර්ය සාධනය සහ 2021 නොවැම්බර් 16 දින පවත්වන ලද කෝප් කමිටුවේ දී කරනු ලැබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා පැවති කෝප් කමිටු රැස්වීම ඉදිරියේ දීය.
2024 ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 8 කාලය තුළ දී ජාතික තරුණ සේවා සභාව විසින් දියත් කරන ලද ස්මාර්ට් යූත් අවුරුදු උත්සවය, ජාතික තරුණ වෙසක් උළෙල, ජාතික තරුණ පොසොන් කලාපය, යාපනය තරුණ හමුව වැඩසටහන, 31st Night Youth Celebration සහ ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය හා සංගීත වැඩසටහන වෙනුවෙන් වෙන්කොට තිබූ රු. මිලියන 538ක් වියදම් කර තිබිණි. මේ සම්බන්ධයෙන් කෝප් කමිටුවේදී තරුණ සේවා සභාවේ මූල්‍ය නිලධාරිනියක ප්‍රකාශ කළේ, "ඉහළින් පැමිණි බලපෑම හේතුවෙන්" මේ වියදම්වලට අදාළ ගෙවීම් සහතික කිරීමට සිදු වූ බව ය.
තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ අභිමතය පරිදි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව භාණ්ඩ හා සේවාවන් ලබාගෙන ඇති බව ඇතුළු අක්‍රමිකතා රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ අතර, එම ප්‍රශ්න සහගත හිටපු සභාපතිවරයා වූ පසිඳු ගුණරත්න ද කෝප් කමිටුවට කැඳවා තිබිණි.
2024 ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා විවිධ නම්වලින් පවත්වා ඇති ස්මාර්ට් යූත් වැඩසටහන් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණේ, ඒවායින් බොහොමයක් අවසන් වූ පසු, එනම් 2024 ජූලි මාසයේදී වීම විශේෂත්වයකි.
පැමිණ සිටි නිලධාරීන්ගෙන් කෝප් කමිටු සාමාජිකයන් විසින් දිගින් දිගට ම ප්‍රශ්න කරන ලද අතර, එහිදී මෙම අවුරුදු උත්සවය සඳහා ව්‍යාපෘති යෝජනාව මාර්තු 19 වන දින තරුණ සේවා සභාවේ සම්මත කරගෙන ඇති බවත්, ඊට මුලින් වෙන් කර තිබූ මුදල රු. මිලියන 7ක් බවත් හෙළිවිය. පසුව මේ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා මුදල් ලබා දී තිබේ.
කෝප් කමිටුවේදී සාකච්ඡා වූ ආකාරයට වසර මුලදී සභාවේ සැපයුම්කරුවන් ලෙස ලියාපදිංචි වී ඇත්දැයි තහවුරු කර ගැනීමට නොහැකි වූ සැපයුම්කරුවන් දෙදෙනෙකුට ශබ්දවාහිනී යන්ත්‍ර, ජෙනරේටර් සහ LED තිර සැපයීම වෙනුවෙන් පිළිවෙළින් රු. මිලියන 1.1ක් සහ 1.8ක් ගෙවා ඇත. එලෙස සභාවේ ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයුම් කරුවකු ලෙස ලියාපදිංචි වී සිටි ආයතනයකට ටී - ෂර්ට් සහ ස්ක්‍රීන් මුද්‍රණයට තවත් රු. මිලියන 2.9ක් ගෙවා තිබේ.
විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දැක්වෙන ආකාරයට තරුණයන්ගේ ශ්‍රමය යොදා ගනිමින් තරුණ සේවා සභාවේ අරමුණු ඉටු කර ගනිමින් සිදු කිරීමට තිබූ අවුරුදු උත්සවයේ විවිධ ඉදිකිරීම් සඳහා ද මිලියන 2.7කට අධික මුදලක් ගෙවා තිබේ. එම අවුරුදු උත්සවයේ රූපවාහිනී ආවරණය සඳහා ද රු. මිලියන 4.5කට අසන්න මුදලක් ගෙවා ඇති අතර, එම ගෙවීම සභාවේ සම්මත කරගෙන තිබෙන්නේ, අවුරුදු උත්සවය පැවැත්වූවාට පසු, එනම් 2024 මැයි 02 දා ය.
කෝප් කමිටුවේදී අනාවරණය වූයේ, මෙම වැඩසටහනට අදාළව පූර්ව පිරිවැය ඇස්තමේන්තුවක් හෝ සිදු කර නොමැති බව ය. මෙම අවුරුදු උත්සවයට අදාළ ප්‍රචාරණ කටයුතු සඳහා පෝස්ටර් මුද්‍රණයට ද රුපියල් මිලියන 2කට අධික මුදලක් වැය කර තිබූ අතර, එම පෝස්ටර් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විෂය භාර අමාත්‍යවරයා සහ තරුණ සේවා සභාවේ සභාපතිවරයාගේ රුව සහිතව මුද්‍රණය කර තිබීම ද දැඩි දෝෂ දර්ශනයට ලක් විය. මෙම පෝස්ටර් මුද්‍රණය කිරීමට භාරගෙන තිබූ ආයතනය, ස්මාර්ට් අවුරුදු උත්සවයේ ව්‍යපෘතිය සම්මත කර ගත් 2024 මාර්තු 19 වන දින ම සභාවේ ලියාපදිංචි වූ ආයතනයක් වීම පිළිබඳව ද කමිටුවේ අවධානය යොමු විය.
අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය ඇතුළු ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ වැඩසටහන් තුනක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයට යැවූ ලිපියක ක්‍රීඩා වැඩසටහන් හැර අනෙකුත් වැඩසටහන් ඒ මොහොතේ සිදු කිරීමට පූර්ව අනුමැතිය ලබා දිය නොහැකි බව දන්වා යවා තිබූ බව එහිදී හෙළි විය. ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මොහොතක ඒ සඳහා තරඟ කරන එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම වැඩසටහන්වලින් ප්‍රවර්ධනය වීමට ඉඩ දීමට නොහැකි බව එහි සඳහන් කර තිබී ඇත.
කෙසේ නමුත්, පසුව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශය විසින් "ස්පෝර්ට් ෆියෙස්ටා" නම් වැඩසටහනක් 2024 අගෝස්තු 16-18 අතර දිනවල පවත්වා ඇති අතර, ජාතික තරුණ සේවා සභාවේ සම්මත වී ඇති වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට අයත් නොවන සංගීත සංදර්ශනයක් එම වැඩසටහනේදී තරුණ සේවා සභාවේ වගකීම යටතේ පවත්වා තිබේ. මෙහිදී මෙම සංගීත සංදර්ශනය පැවැත්වීම පිළිබඳව හිටපු සභාපති පසිඳු ගුණරත්නගෙන් ප්‍රශ්න කෙරුණු අතර, ඔහු පැවසුවේ, විෂය භාර අමාත්‍යංශයෙන් අගෝස්තු 09 වන දින පැමිණි ලිපියකින් එම වගකීම ජාතික තරුණ සේවා සභාවට පවරා තිබූ බව ය.
මෙහිදී හිටපු සභාපතිවරයා පැවසුවේ, මැතිවරණ කොමිෂන් සභාවෙන් පෙන්වා දුන් උපදෙස් අනුව එතෙක් කරගෙන ගිය වැඩසටහන් සියල්ල නැවැත්වූ බවත් ජනාධිපති ලේකම් කාර්යාලය හා එක්ව ක්‍රීඩාව පමණක් අරමුණු කර ගත් "ස්පෝර්ට් ෆියෙස්ටා" වැඩසටහන ක්‍රියාත්මක කළ බව ය. මේ සඳහා, ජාතික තරුණ සේවා සභාව රු. මිලියන 14.5ක් වය කර ඇති අතර, එම සංදර්ශනය වීඩියෝ ගත කිරීමට රු. මිලියන 4.3ක් වැය කර ඇති හෙළි විය. කෙසේ නමුත්, එම වීඩියෝව ජාතික තරුණ සේවා සභාව සතුව නැති බව නිලධාරීන් විසින් ප්‍රකාශ කරන ලදී.
අතුරුදන් ප්‍රසම්පාදන ලිපිගොනු සහ යාපනය, අම්පාර පොසොන් උත්සව හා තරුණ හමු '31st Night Youth Celebration' නමින් ජාතික තරුණ සේවා සභාව විසින් පවත්වනු ලැබූ වැඩසටහනකට අදාළ ප්‍රසම්පාදන ලිපිගොනුව අස්ථානගත වී ඇති බව කෝප් කමිටුවේදී ප්‍රකාශයට පත් විය. එම වැඩසටහනේ සියලු ලිපිගොනු හිටපු සභාපති පසිඳු ගුණරත්නගේ පෞද්ගලික ලේකම් බව කියන මධුෂංක රාජපක්ෂ රැගෙන ගිය බවත්, පසුව ඒවා සභාව වෙත නැවත භාර දෙන විට ප්‍රසම්පාදන ලිපිගොනුව නොතිබූ බව නිලධාරීහු කෝප් කමිටුවේ ප්‍රශ්න කිරීම් හමුවේ පිළිගත්හ.
මීට අමතරව, අම්පාර ප්‍රදේශයේ පැවති පොසොන් උත්සවයක් සඳහා මිලියන 15ක් වැය කර ඇත්තේ නිසි ක්‍රියාපටිපාටීන් අනුගමනය නොකර බව ද එහිදී හෙළිවිය. එහිදී නැගෙනහිර පළාත භාර තරුණ සේවා සභාවේ පළාත් අධ්‍යක්ෂකවරයා ප්‍රශ්න කිරීම් හමුවේ පිළිතුරු දෙමින් කියා සිටියේ, මෙම රුපියල් මිලියන 15ට ලබා ගත් භාණ්ඩ හා සේවා වෙනුවෙන් ප්‍රසම්පාදන නොකැඳවූ බව ය. සභාපති වරයා ඒවා තිබූ සේවා සපයන්නන් ලැයිස්තුවකට අනුව එම සේවාවන් ලබා ගැනීමට කටයුතු කළ බව ඔහු පැවසුවේ ය. එහිදී 18 සන්නිය සඳහා රුපියල් මිලියන 1.07ක් ද, ඩිජිටල් තොරණ සඳහා රුපියල් මිලියන 8.8ක් ද, භක්ති ගීත වැඩසටහන වෙනුවෙන් මිලියන රුපියල් 4.9ක් ද වැය කර තිබේ. මෙම වැඩසටහන් ජාතික රුපවාහිනියේ විකාශය කිරීම සඳහා රු. මිලියන 23ක් වැය කර තිබීම පිළිබඳව ද කමිටුවේ අවධානය යොමු කෙරිණි.
මෙලෙස තරුණ සේවා සභාවෙන් මුදල් වැය කළ බවක් සඳහන් වුනත්, මෙම පොසොන් වැඩසටහනේ ප්‍රචාරණ කටයුතු සහ ආරාධනා පත්‍ර ඇතුළු සියලු වැඩසටහන්වල මෙම පොසොන් උත්සවය පවත්වන්නේ, හිටපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ඩබ්.ඩී. වීරසිංහට සම්බන්ධ ඩබ්. ඩී. වීරසිංහ පදනම සහ තවත් ආයතනයක අනුග්‍රහයෙන් යැයි සඳහන්ව තිබූ බව මන්ත්‍රීවරු එහිදී පෙන්වා දුන්හ. මෙය ජාතික තරුණ සේවා සභාව විසින් පවත්වන ලද වැඩසටහන් ලෙස හුවා දක්වා තිබුණ ද මෙය දේශපාලන අවශ්‍යතා මත සිදු කරන ලද්දක් බවට චෝදනා එල්ල විය.
එමෙන් ම මැයි මාසයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද සහභාගී වූ යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේ පැවැත්වූ තරුණ හමුව සඳහා ද වියදම් සඳහා ප්‍රසම්පාදන කැඳවා නොමැති අතර, උතුරු පළාත් ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරයා කෝප් කමිටුව ඉදිරියේ ප්‍රකාශ කළේ, සභාපතිගේ බලපෑම මත රැකියාව රැක ගැනීම සඳහා ඔහු දන්වා එවූ ආයතන හරහා මිල දී ගැනීම් සිදු කළ බව ය. ප්‍රධාන කාර්යාලයෙන් තමාට සේවාවන් ලබා ගැනීම සම්බන්ධ ලිපිගොනුව සකස් කර එවූ බවත් තමා හා අනෙකුත් නිලධාරීන් එයට අත්සන් කර යැවූ බවත් ඔහු පැවසුවේ ය.
ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය හා සංගීත ප්‍රසංගය වෙනුවෙන් වැය කළ රු. මිලියන 188ක පමණ වටිනාකමින් යුත් චෙක්පත් ජනාධිපතිවරණයට පෙර දින ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ අත්සනින් ලබා දීම සම්බන්ධයෙන් පෙබරවාරි 18 දින සාකච්ඡාවේදී තහවුරු වූ බැවින් මේ සම්බන්ධයෙන් අදාළ හිටපු සභාපතිවරයා කමිටුවට කැඳවා ප්‍රශ්න කෙරිණි. මෙහිදී ඔහු පැවසුවේ, එම ගෙවීම් කළේ මාස 3 කට 4කට පෙර පැවති වැඩසටහන් වෙනුවෙන් බව ය. නිලධාරීන් තමා බලපෑම් කළේ යැයි පැවසීම සම්බන්ධයෙන් තමා පුදුම වන බව ද ඔහු පැවසුවේ ය. මේ සම්බන්ධව දීර්ඝව කෙරුණු ප්‍රශ්න කිරීම්වලදී නිලධාරීන් සඳහන් කළේ, 2024 සැප්තැම්බර් 20 දින සවස 2 සිට 5 කාලය ඇතුළත මෙම චෙක්පත් සහතික කර දෙන ලෙස හිටපු සභාපතිවරයා බලපෑම් කළ බව ය. මෙම වැඩසටහන් වියදම් සඳහා ප්‍රතිපූර්ණ අමාත්‍යංශයෙන් ගෙවීම ප්‍රතික්ෂේප කළ බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ නිලධාරිනියක් පැවසුවා ය.
අදාළ වැඩසටහන්වල අරමුණු ජාතික තරුණ සේවා සභාවේ අරමුණුවලට නොගැළපීම, ලේඛන ප්‍රමාණවත් නොවීම වැනි හේතු නිසා එම ගෙවීම් අමාත්‍යංශයෙන් සිදු නොකළ බවත්, පසුව ජාතික තරුණ සේවා සභාවේ සාමාන්‍ය වියදම් සඳහා භාණ්ඩාගාරයෙන් ලබා දුන් රු. මිලියන 100ක් මෙලෙස ජනාධිපතිවරණයට පෙර දින ස්මාර්ට් යූත් වැඩසටහන් සඳහා ලබාගත් සේවාවන් වෙනුවෙන් ගෙවා ඇති බව ඇය ප්‍රකාශ කළා ය.
0 Comments