මෑත ඉතිහාසයේ සිදුවූ ලොකුම දේශපාලන පාවාදීම සිදු වූයේ 2018 ඔක්තෝබර් 26 වෙනිදාය. එදා හදිසියේ ම එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එවකට අගමැතිවරයාව සිටි රනිල් වික්‍රමසිංහ නීති විරෝධී අයුරින් බලයෙන් පහ කොට යළිත් මහින්ද රාජපක්ෂට අගමැතිකම දුන්නේය.ඊට වසර හතරකට පෙර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පොදු අපේක්ෂකයා ලෙස බලයට පත් වූයේ මහින්ද රාජපක්ෂට එරෙහිව තරඟ වදිමිනි. එහිදී ඔහු බලයට ගෙන ඒමට උපකාර වූයේ රනිල් වික්‍රමසිංහයි. ඒත් කල්යාමේදී ඔවුන් දෙදෙනා අතර ගැටුම් ඇති විය.
එම සිද්ධිය ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව තුළ කළු පැල්ලමක් ඇති කිරීමට සමත් වූ බව විවිධ දේශපාලන විචාරකයින්ගේ අදහස ය. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ පමණක් නොව සිවිල් ජනතාව එල්ල කළ විරෝධය හමුවේ මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව අනුවත් යළිත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සිදුවිය.
එදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් තමා බලයට පත් කරන්නට දිවා රෑ නොතකා වෙහෙස වූ හිතවතුන් ද, තමාට ඡන්දය දුන් හැට දෙලක්ෂයක ජනතාවද, එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනෙකුත් බලවේගද අකෘතඥ ආකාරයෙන් පාවා දුන් බව මේ මොහොත වන විට බොහෝ දෙනා බොහෝ තැන ලියා, කියා තිබේ. එහෙත් ඒ හැමටම වැඩියෙන් ඔහු විසින් ඉතාමත් නින්දිත ආකාරයට, නිර්ලජ්ජිත ලෙස පාවා දී අනතුරේ හෙළා ඇති අයෙකුද සිටී. ඒ අන් කිසිවකු නොව, ඔහුගේම ආදරණීය වැඩිමහල් දියණිය දර්ශනී චතුරිකා සිරිසේනයි.
ඇය සිය පියා පිළිබඳව ලියා පළ කළ ‘ජනාධිපති තාත්තා’ පොත ගැන මේ වන විට නොදත් කෙනෙකු සිටිනවා විය නොහැකිය. එයින් උපුටා ගත් උධෘත යැයි කියමින් නිර්මාණය වුණු නර්මාලාප හා උසුළු විසුළු ද සමාජ ජාලා ඔස්සේ සංසරණය වනු තවමත් දැකිය හැකිය. එහෙත්, මේ කෙටි ලිපියෙන් හුවා දැක්වීමට අවශ්‍ය වන්නේ එය නොවේ. ඇය සිය පොත පුරා දිග හරින්නේ පියාගේ දේශපාලන ගමන් මගත්, එම ගමනේ තමා හා සොයුරාත් සොයුරියත් විටින් විට මුහුණ පෑ කම්කටොළුත් ය.
පොතේ කූඨ ප්‍රාප්තිය සිදු වන්නේ තිස්පස් වන උල්ලාසයේ හෙවත් පරිච්ඡේදයේ දී ය. එහි දී ඔහු 2015 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස 2014 නොවැම්බර් 21 දා කලඑළි බසින ආකාරය ඉතා විස්තරාත්මක ලෙස දක්වා ඇත්තේ, අප දන්නා කරුණු මෙන් ම, නොදන්නා පවුලේ තොරතුරු ද සමගිනි.
වඩාත් සංවේදී හා සංවේගජනක දේ අපට හමු වන්නේ ඉන් පසුව එන තිස්හය වන උල්ලාසයේ දී ය. ඈ එය නම් කරන්නේ “අමතක කිරීම” යනුවෙනි. මෙය කොතරම් උත්ප්‍රාසයක් දනවන යෙදුමක් දැයි අපට හැඟී යන්නේ එම පරිච්ඡේදය කියවාගෙන යාමේදී ය. ඒ තාත්තා කෙනෙක් තමා වෙනුවෙන් දියණියක විඳි මානසික වධ වේදනා මෙතරම් පහසුවෙන් අමතක කළේ කෙසේද යන පැනය එහිදී අනිවාර්යයෙන් පැන නගින හෙයිනි. එම පරිච්ඡේදය පුරා රාජපක්ෂලා විසින් සිය පසමිතුරු ජනාධිපති අපේක්ෂක වූ මෛත්‍රීපාල සිරිසේනට සිදු කරන ලද අනේකවිධ කෙණහිලිකම් හා අඩත්තේට්ටම් අපට මනාව දැකගත හැකිය. රාජපක්ෂලාගේ වෛරී දේශපාලන භාවිතාව හේතුවෙන් තමාගේ ජීවිත අනතුරේ හෙළා ගැනීමට බියවූ සිරිසේන සහෝදරවරුන් ගැන ඇය 315 පිටුවේ සඳහන් කරන්නීය. ඉන් පසුව දිගටම විස්තර වන්නේ රාජපක්ෂ පිලේ ම්ලේච්ඡ හා වියරු හැසිරීමයි. එය ඇගේම වචනවලින් මෙසේ ය:
‘එහි ප්‍රතිඵලය වූයේ පසු දින, එනම් නොවැම්බර් 22 වැනිදා සිටම සිදු වූ කැළඹිල්ල දරා ගත නොහැකිව වියරු වැටුණු මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම ද්වේෂයෙන් හා උපහාසයෙන් තාත්තාව විවේචනය කිරීමට පටන් ගැනීමයි. එහි කිසිදු නෛතික හා සදාචාරාත්මක සීමාවක් නොවී ය.’ (පිටුව 316)
‘සැබවින්ම මම එම මොහොතේ තාත්තා වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම උපරිමයෙන් සිදු කිරීමට අදිටන් කර ගත්තෙමි. ඒ කිසිදු දේශපාලන පරමාර්ථයකින් හෝ ජනාධිපති දියණියක වීමේ සිහිනයකින් හෝ වෙනයම් අරමුණකින් නොව, ජනවාරි අටවැනිදායින් පසු තාත්තා මරණයට බිලි වීම හෝ සිරගත වීම වැළැක්වීමේ ඒකායන අරමුණ පමණක් පෙරදැරිකොට ගනිමිනි. මන්ද අඳුරු, හිස් තැන් සහිත සරත් ෆොන්සේකා මහතාගේ ඛෙදවාචකය අප කිසිවකුටත් අමතක වී තිබුණේ නැත. සැබැවින්ම එය දින ගණනාවක් පුරා මගේ සිත තුළ බිහිසුණු සිහින මවා පෙන්වූ බව කිවයුතුය.’ (පිටුව 317)
ඇගේ මේ බිය හා වේදනාව, ඇය ඉතා පැහැදිලිව කළු-සුදු ලෙස ලියා තබා ඇත. එමගින් එකී වේදනාවන් ඉතිහාසගත කොට ඇත. ඒවා රාජපක්ෂලාගේ කෲරත්වයට පැහැදිලි සාක්ෂ්‍ය සපයයි. එවන් සාක්ෂ්‍ය ඉතිහාස ගත කළ දියණියව මෛත්‍රිපාල සිරිසේන දැඩි අනතුරක හෙළා ඇත්තේ ය.
1960 දී ලංකාවට යළි පැමිණි ලෙනාඩ් වුල්ෆ් හා සිදු කළ සංචාරයන් ඇසුරෙන් විජේසිංහ බෙලිගල්ල ලියූ ‘ලෙනාඩ් වුල්ෆ් සමග ගමනක්’ රාජපක්ෂලාගේ සත්‍ය ඉතිහාසය සටහන් වන පොතකි. 1996 දී පළ වූ එහි පළමු මුද්‍රණයේ එකදු පිටපතක් හෝ සොයා ගැනීමට නැත්තේ ඒ සීග්‍රයෙන් අළෙවි වූ නිසා නොවේ. එම පොතෙහි සොයා ගත හැකි පිටපත් සියල්ල රාජපක්ෂලා විසින් සොය සොයා ගිනිබත් කළ නිසාය. පසු කලෙක (2003) එහි දෙවන මුද්‍රණයක් කෙසේ හෝ එළි දක්වන බෙලිගල්ල සිය පෙර වදනේ මෙසේ සඳහන් කරයි. ‘මෙම ග්‍රන්ථයෙහි ප්‍රථම මුද්‍රණය එළි දැක්වූ පසු උද්ගත වුණු දේශපාලන බලපෑම් ගැන සිතන විට, මා ජීවත්ව සිටියදී මෙහි දෙවන මුද්‍රණයක් පළ කරන්නට හැකි වනු ඇතැයි සිතන්නට පවා මට ඉඩක් නොතිබිණි. මා ගැනත් මෙම ග්‍රන්ථය ගැනත්, විවිධ අර්ථකථනයන් දක්වමින් පුවත්පත් මගින්ද, ග්‍රන්ථකරණ ශෛලියෙන් ද විවේචන පළ කරන අතරතුර මගේ ජීවිතයට ඉතාමත්ම සමීපව සිටි මගේ බෑණනුවන් ද ඝාතනය කෙරිණි’.
‘ජනාධිපති තාත්තා’ට ද එවන් ඉරණමක් අත් නොවේයැයි කිව හැක්කේ කාටද? ඒ පොතෙහි කර්තෘට කිනම් ඉරණමකට මුහුණ දෙන්නට සිදුවේ යැයි ද කියන්නට පුළුවන් කාටද? වෙනකක් තබා, පොතේ ප්‍රකාශක වූ සරසවි පොත් ප්‍රකාශන අධිපති ඩබ්.බී. ප්‍රේමසිරි මහතා ද මින් වැටී ඇත්තේ සුළුපටු අමාරුවක නොවන බව රාජපක්ෂලාගේ හැටි හොඳහැටි දන්නා ඕනෑම කෙනෙකුට පහසුවෙන් වැටහෙන කරුණකි.
‘ධනය, බලය, පියෙකු හා දියණියක අතර ඇති බැඳීමකට වඩා වටින්නේ කෙසේද?’ (පිටුව 318) යැයි ඇය විමසන්නී ය. දැන් ඈ ඒ පැනය අසන්නේ ඇගේ පියාගෙන් නොවේ ද? ඔහුගේ බල කාමය, දියණිය හා ඇති බැඳීමට වඩා ඔහුට වටිනා දෙයක් වූයේ කෙසේද? තමා පියකු ලෙස බෞතිස්ම කළ, සිය ලෙයින් මසින් උපන් කුළුඳුල් දියණිය, මෙසේ රාජපක්ෂලා හමුවේ අනතුරේ හෙළන්නට ඔහුට හැකි වූයේ කුමක් නිසා ද? මෙය අසාධාරණ ලෝකයකි; මානව දහම නොහඳුනන ලෝකයකි’යි ඇය එහි සඳහන් කරන්නීය. (පිටුව, 318).
කෙතරම් සැබෑවක් ද! පුතු සෙනේ මස් නහර හම සිඳ, ඇට සොයා ගොස් ඇට තුළට වැද, ඇට මිදුලු මත රඳා සිට දුක් දෙයි නිබන්දා කියා සරච්චන්ද්‍ර කීවේය. ඒ බව, ගැටවර වියේ දී බොහෝ වාරයක් සිංහබාහු නැරඹූ සිරිසේනට අමතක වන්නට හැටියක් නැත. එසේ වූ මානව දහමක් වූ දරු පෙම අමතක කර දමන තරම් පාවා දීමකට පියෙක් පෙළඹ වූ කරුණ කුමක් නම් විය හැකිද?
පාඨකයා ගේ හද සසල කරවන වැකිය එන්නේ මී ළඟට ය. ‘එහෙත් නුදුරු අනාගතයේ තාත්තා මේ සියල්ල වෙනස් කරනවා ඇත.’ පසුගිය දා ඒ තාත්තා කිසිදු විළියක් හිරියක් නැතිව, ඒ දරුණු රාජපක්ෂලාට පාවා දුන්නේ ඇගේ ඒ අහිංසක විශ්වාසය යි.
‘ඒ වෙනුවෙන් සෑම දෙයක්ම කළ යුතුය. කිසියම් දිනෙක තාත්තාට යම් කුරිරු අත්දැකීමකට මුහුණ පාන්නට සිදුවන්නේ නම් ඉන්පසු මා ජිවත් වී ඵලක් නැත. මට ඉන්පසු ජීවත් වීමට පුළුවන්කමක් ද නැත. එබැවින් තාත්තා රැක ගැනීම උදෙසා මේ මොහොතේ කළ යුතු සෑම දෙයක්ම දිවි පරදුවට තබා හෝ කළ යුතුය.’ (පිටුව, 318). ඒ තාත්තා එම කුරිරු රාජපක්ෂලාට පාවා දුන්නේ තම දියණියගේ ඒ සෙනෙහසයි. ඒ කැපවීමයි. ඒ පරිත්‍යාගයයි.
එවන් වූ පරිත්‍යාගයක් කළ දියණියකගේ වෑයමට ආදරණීය තාත්තා පිළිතුරු දෙන්නේ ස්වභාවයෙන්ම කුරිරු, දයා විරහිත රාජපක්ෂලා ඉදිරියේ ඇගේ ඇඳිවත අහිමි කිරීමෙනි. ඇගේ අභීත ආත්ම ප්‍රකාශනය වූ ‘ජනාධිපති තාත්තා’, හුදෙක් ප්‍රලාපයක් පමණක් බවට, කිසිදු වටිනාකමක් නැති හරසුන් පොත් කඩමාල්ලක් බවට එක මොහොතින් පත් කරමිනි. ඒ තාත්තා දියණියගේ පොත ඇත්ත වශයෙන්ම කියවූවා දැයි සැකයක් පවා කෙනෙකුට ඇති වීම සාධාරණ ය.
අවසානයේ පොතට පසුවදනක් එක් කරන චතුරිකා මෙසේ සටහනක් තබන්නීය.
‘පෙර දින අඳින්නට ඇඳුමක් පමණක් ගමන් මල්ලක බහා පැමිණි ඒ සරල මිනිසා අද මේ රටේ ජනාධිපතිවරයා ය. ඔහු මතු යම් දිනෙක මේ සියලු බලතල අතැර එලෙසින්ම පිරිසුදු දෑතින් ධුරයෙන් නික්මෙන බව ස්ථිරය. ඒ අතීතය ද මතුයම් දිනෙක මෙලෙසින්ම අභිමානයෙන් ලියන්නට හැකිවන්නේ නම් මා ජීවිතයේ ලබන සුවිසල්ම ජයග්‍රහණය එයයි’.
එවැනි අහිංසක ප්‍රාර්ථනයක් මල්පල ගැන්වෙනු දකින්නට කවුරුත් කැමැති ය. එහෙත්, පොතේ උණුසුම මැකී යන්නත් පෙර ඒ සරල මිනිසා, ‘ජනාධිපති තාත්තා’ මේ කළ මහා පාවාදීම තාත්තා කෙනෙකු දුවකට කළ මහා අවමානයක් ලෙස ඉතිහාසයට එක් වනු ඇත.
0 Comments