මාතලේ මහා මිනීවළෙන් මතු වූ අභිරහස රනිල්, ගෝඨා හා මහින්ද එක්ව යට ගැසූ හැටි!

2013 වසරේ නොවැම්බර් 24 වැනිදා මාතලේ රෝහල් පරිශ්‍රයේ මුළුතැන්ගෙයක් පිටුපස නව ජීව වායු ඒකකයක් සඳහා අත්තිවාරම් දැමීමට පොළොව හාරමින් සිටි කම්කරුවන් පිරිසක් බිහිසුණු සොයා ගැනීමක් සිදු කළහ. බැකෝ යන්ත්‍රයක් යොදා ගෙන මීටර් එකහමාරක් පමණ පොළොව හාරමින් සිටි ඔවුන්ට එක්වරම දක්නට ලැබුණේ පස් සමග මිශ්‍ර වූ මිනිස් හිස් කබලක් හා මිනිස් ඇට කැබැලි සමුහයකි. මෙම ඇට කැබලි හමුවීමත් සමගම කම්කරුවන් පිරිස මේ සිද්ධිය පිළිබඳව රෝහල් බලධාරීන් දැනුවත් කළහ. රෝහල් බලධාරීන් මේ ගැන මාතලේ පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු පොලීසිය එවකට මාතලේ මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු චතුරිකා ද සිල්වා වෙත මේ පිළිබඳ දන්වනු ලැබීය. ස්ථානීය පරීක්ෂාවකින් පසු විනිසුරුවරිය එහි තවත් මිනිස් ඇටසැකිලි ඇත්දැයි සොයා බලා වාර්තා කරන ලෙස පොලීසියට නියෝග කළාය. 



මිනීවළෙහි කැණීම් කරන්නට මහේස්ත්‍රාත් නියෝග කරයි. 

මහේස්ත්‍රාත්වරියගේ නියෝගයට අනුව 2013 පෙබරවාරි 12 වැනිදායින් අවසන්වූ තුන් මස ඇතුළත පොලීසියේ මෙහෙයවීමෙන් මාතලේ අධිකරණ වෛද්‍ය නිළධාරී වෛද්‍ය අජිත් ජයසේන මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකළ කැණීම් වලදී, මළ සිරුරු 154 කට අයත් ඇටසැකිලි හමු වූ අතර එය එතෙක් ශ්‍රී ලංකාවේ සොයා ගන්නා ලද විශාලතම සමූහ මිනී වල ලෙස ප්‍රසිද්ධියට පත් විය. 

උතුරේ දශක තුනකට වැඩි බෙදුම්වාදී සිවිල් යුද්ධයක් අවසන්වී ඊට සිව් වසරකට පසු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයෙන් සොයාගත් මෙම මාතලේ සමුහ මිනී වලෙහි අවම වශයෙන් මිනිස් ඇටසැකිලි 154 ක් තිබු බවට මාතලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් ජයසේන මහතා මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර සිටියේය. 

මාතලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් ජයසේන මහතා මෙම ඇටසැකිලි 154 විශේෂ විශ්ලේෂණයට භාජනය කළේය. එහිදී ඔහු විසින් සොයාගත් සමහර කරුණු නිසා මෙසේ මියගිය සමහරුන් ඉතා දරුණු වධ බන්ධනවලට ලක්වී ඇති බවට නිගමනය විය. 

"සමහර ඇටකටු මරණයට පෙර ඇණ ගැසූ බවට සාක්ෂි පෙන්නුම් කළ අතර එක් පාදයක අස්ථියක් ගැට ගැසූ ලෝහ කම්බියක් ද දක්නට තිබුණි. ඇටසැකිලිවලින් තොර හිස් කබල් කිහිපයක් හමුවීම හිස ගසා දැමීමේ ලකුණක් " . මෙම පුද්ගලයන් මරා දැමීම සඳහා ගිනි අවි සහ මොට ආයුධ භාවිතා කළ බවට පෙනී යන්නේ යැයිද එම නිසා මෙම ස්ථානයේ අපරාධයක් සිදුවී ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළේය. 

මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ සහය ලබා ගනියි 

මාතලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් ජයසේන මහතා මෙම ඇටසැකිලි කාගේද යන්න හා ඒවා කුමන කාලයකට අයත්දැයි යන්න පරීක්ෂා කර බැලීමට, අධිකරණයේ අවසරය ලබා ගෙන කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය රාජ් සෝමදේව මෙම මිනීවල කැණීමේ කටයුත්තට නිල වශයෙන් සම්බන්ධ කර ගත්තේය. 

කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු වූ මහාචාර්ය රාජ් සෝමදේව අධිකරණ වෛද්‍ය වේදයට අදාළ ප්‍රාමාණික දැනුමක් ඇති පුරාවිද්‍යාඥයෙකි. ඒ නිසා භූගත වස්තූන් තුළින් සාක්ෂි සොයා ගැනීමට, ඒවා නිසි පරිදි ගොඩ ගැනීමට සහ අර්ථ නිරූපණය කිරීමට අවශ්‍ය වූ, ක්ෂේත්‍ර ශිල්පීය ක්‍රම සහ තාක්ෂණික ක්‍රම පිළිබඳ ඉහළ කුසලතා, දැනුම සහ අත්දැකීම් ඇත්තෙකි. ඔවුන් භාවිතා කරන තාක්ෂණික ක්‍රම අතරට භූ භෞතික විද්‍යාත්මක පර්යේෂණ, දුරස්ථ සංවේදන ශිල්පීය ක්‍රම, සමීක්ෂණ සහ කැණීම් ඇතුළත් වේ. 

මහාචාර්යවරයාගේ විශ්ලේෂණය පහත දැක්වෙන මුලධර්ම වලට අනුව සිදු කළ බව ඔහුගේ වාර්තාව සඳහන් වෙයි. 

1. මෙම සමුහ මිනී වලට අදාළ වෛද්‍ය වාර්තා රෝහලේ තිබිය යුතුය. 
2. ඇටසැකිලි නොවෙනස්ව තිබිය යුතුය, එසේ නොමැතිනම් ස්වාභාවික හෝ සංස්කෘතික වේවා, තැන්පත් කිරීමෙන් පසු ඇතිවන ඕනෑම බාධාවක් ඒවාට බලපානු ඇත. 
3. මළ සිරුරු භූමදාන කිරීමේ සාමාන්‍ය සංස්කෘතික පිළිවෙතට නැති සෑම මළ සිරුරක්ම වැරදි ලෙස තැන්පත් කිරීම සඳහා සම්බන්ධ වන හැසිරීම් අංශ ගොඩගැනීමෙන් ඔප්පු කළ යුතුය. 
4. වසංගත රෝග නිසා ඇති වන ඇටසැකිලි මත දෘශ්‍යමාන ජෛව රසායනික වෙනස්කම් ඉතිරිව තිබිය යුතුය. 
5. සිරුරු දිරායාමෙන් පසු අවම වශයෙන් මළවුන්ගේ ඇටසැකිලි සහ ඇඳුම්වලට සම්බන්ධ වස්තූන් ඉතිරිව තිබිය යුතුය. ‍
 

මහාචාර්ය රාජ් සෝමදේව වාර්තාවෙන් හෙළි වූ කරුණු 

මහාචාර්ය රාජ් සෝමදේව මෙම ඇටසැකිලි විශ්ලේෂණය කර පිටු 60 කින් යුත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය. එම වාර්තාවේ ඇටසැකිලි 154 සම්බන්ධයෙන් මෙසේද සඳහන් විය. 

"වර්ග මීටර් 97.75 ක් පුරා විහිදී තිබු මෙම සමුහ මිනී වළේ සමහර සිරුරු පේළියට තබා ඇති අතර අනෙක් ඒවා එකිනෙක මත තබා සිරුරු මිහිදන් කර ඇත්තේ 'කිසිදු ශ්‍රී ලාංකීය ප්‍රජාවක භුමදාන කටයුත්තකට ආවේණික නොවන අයුරිනි'. සමහර ඇටසැකිලි පරීක්ෂා කිරීමේදී වින්දිතයින් වධහිංසාවට ලක් කර ඇති බව නිරීක්ෂණය වේ. හිස ගසා දැමීම, අත් පා කැබලි කිරීම, කියත්වලින් හිස් කබල් කැපීම සහ ඇඟිලි ඇණ ගැසීම වැනි දැඩි වධ හිංසා මියගිය පුද්ගලයන්ට දී ඇති බව අස්ථි කොටස්වල දක්නට ලැබුණු තුවාල මගින් සනාථ විය. එක් ඇට සැකිල්ලක වම් පාදයේ ලෝහ නූලක් නිරීක්ෂණය විය." එය මහාචාර්ය සෝමදේව පවසන පරිදි, "එල්ලුම්කාරයා ගේ ගැටය" ලෙස හැඳින්වෙන අන්තර් අගුලක් සවි කිරීමේදී සකස් කළ හැකි උපකරණයකි. 

"එක් හිස් කබලක් ඇටසැකිල්ලෙන් වෙන් වී තිබුණි. තවත් හිස් කබලක මුඛය විවෘත වී තිබිණි .එයින් ඇඟවෙන්නේ එම සිරුර භූමදාන කරන විට මියගිය තැනැත්තා දැඩි වේදනාවෙන් සිටි බවයි. සමහර විට මෙම නිරීක්ෂණය මරණයෙන් පසු, මරණය සිදු වූ වේලාව සහ භූමදානය කළ වේලාව අතර පරතරය පිළිබඳ නිගමනයකට ඒමට උපකාරී වේ". 

වළෙන් හමු වූ ඇටසැකිලි 154 න් 38 ක් එක ගොඩට කිසිදු පිළිවෙළක් නොමැතිව තිබී ඇත. එය ඒවායේ භූමදාන ඉරියව්ව නැවත අදහසක් ලබා ගැනීමට උපකාරී වේ. තැන්පත් වීමෙන් පසු ඇතිවන කිසිදු බාධාවක් නොමැති වීම හේතුවෙන් බොහෝ ඇටසැකිලි වල අස්ථි බොහොමයක් නොවෙනස්ව පවතී. මෙම ස්වභාවය මළ සිරුරු වැතිර තිබූ ඉරියව් පිළිබඳ හොඳ අවබෝධයක් ලබා දී ඇත. 

කාන්තා ඇඳුමකට යොදන, 80 දශකයට අයත් බොත්තමක්

එමෙන්ම මේ ඇටසැකිලි කුමන කාලයකට අයත්දැයි තීරණය කිරීම සඳහා Radiocarbon Bomb-pulse Method (RBM) පරීක්ෂණය සිදුකළ යුතු යැයි මහාචාර්ය රාජ් සෝමදේව, මාතලේ අධිකරණ වෛද්‍ය නිළධාරී වෛද්‍ය අජිත් ජයසේන මහතාට පෙන්වා දුන්නේය. 

1. කාන්තා ඇඳුමකට යොදන බොත්තමක් මෙම එක් ඇටසැකිල්ලක් අතර තිබී ඇත. එම බොත්තම නිෂ්පාදනය පිළිබඳ කාල වකවානු සෙවීමේදී එය චීනයේ නිෂ්පාදිත 6 L672 කාණ්ඩයේ රෙට්‍රෝ ප්ලාස්ටික්වල සෙලියුලොයිඩ් අයිවොරොයිඩ් බොත්තමක උදාහරණයක් ලෙස හඳුනාගත හැකි වූ බවත්, මෙය 1980 ගණන්වල දේශීය වෙළඳ පොළේ ජනප්‍රිය එකක් වූ බවත් මහාචාර්යවරයා සිය වාර්තාවේ සඳහන් කර තිබේ. 

2. මීට අමතරව ඇඟිලිවලට දමන මුදු, යකඩ ඇණ, ගෙළ සිර කිරීමට යොදාගත් යකඩ කම්බි, රෝගීන් භාවිත කරන බෙඩ් පෑන් එකක්, 1986 වසරේ නිෂ්පාදීත ප්ලාස්ටික් බැන්ඩේජ් රෝල් ලේබල් කැබලි හා වැදගත්ම සාක්ෂියක් වූ බෝතලයක් හමුවී තිබේ. 

මෙම බෝතලය එංගලන්තයේ ‘ඩෙන්බි’ නම් ඉපැරණි වීදුරු බෝතල් නිෂ්පාදන සමාගම විසින් නිෂ්පාදනය කරන ලද තැඹිලි රතු පැහැයෙන් යුත් එකකි. සමාගමේ නිෂ්පාදන වාර්තාවලට අනුව, මෙම විශේෂිත වර්ගයේ බෝතල් නිෂ්පාදනය සමාගම විසින් 1988 මුල් භාගයේදී දියත් කරන ලද අතර 1989 දී නිෂ්පාදනය නවතා දමා ඇත. ඩෙන්බි සමාගම විසින් සාදන ලද මේ වර්ගයේ බෝතල් වෛද්‍ය වෘත්තිකයන් සහ ඖෂධවේදීන් විසින් දිගුකාලීන සංරක්ෂණය අවශ්‍ය වන ඇතැම් දියර ඖෂධ ගබඩා කිරීම සඳහා භාවිතා කර ඇත. මීට අමතරව තවත් සමාගම් තීන්ත සහ ‘ජින්ජර් බියර්’ ගබඩා කිරීමට භාවිතා කර ඇත.

එම ස්ථානය අපරාධයක් සිදු වූ ස්ථානයක් සේ පිළිගනියි 

මෙම සමුහ මිනී වළ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ මාතලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් ජයසේන හා කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය රාජ් සෝමදේව විසින් තම නිරීක්ෂණ වාර්තා මාතලේ මහේස්ත්‍රාත්වරියට ඉදිරිපත් කරනු ලැබීය. ඉදිරිපත්වූ විද්‍යාත්මක විශ්ලේෂණ හා අධිකරණ වෛද්‍ය වාර්තා වලට අනුව මෙම ස්ථානය අපරාධයක් සිදුවූ ස්ථානයක් ලෙස නිගමනය කෙරිණි. 

එමෙන්ම මෙම අපරාධය සිදු වූ කාලය තීරණය කරනු ලැබුවේ විමර්ශකයින් විසින් හඳුනාගත් ‘ද්‍රව්‍යමය වස්තූන්’ මගිනි. විශේෂඥයින් විසින් සපයන ලද පුරාවිද්‍යාත්මක සහ අධිකරණ වෛද්‍ය සාක්ෂි මත පදනම්ව, මාතලේ මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු චතුරිකා ද සිල්වා මහත්මියගේ නිගමනය වුයේ මෙම ඇටසැකිලි 1986 සහ 1990 අතර කාලය තුළ ඝාතනයට ලක් වූවන්ගේ විය හැකි නිසා නිර්දේශ වූ රේඩියෝ කාබන් පරීක්ෂාව සඳහා ඇට කැබලි සාම්පල විදේශයකට යැවිය යුතු බවයි. මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සඳහා නියෝගයක්ද ලබා දුන්නාය. 

එමෙන්ම මෙම සමූහ මිනීවළේ මරණ ස්වාභාවික හේතූන් නිසා හෝ වසංගතයක් නිසා සිදු වූ බවට කිසිදු සාක්ෂියක් සොයාගත නොහැකි වූ බව විමර්ශකයින් අධිකරණයට කරුණු වාර්තා කර සිටියහ. 

2013 මැයි 31 වන දින මාතලේ මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා ඉදිරියේ නඩුව විභාගයට ගත් විට, 1980 අගභාගයේ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල අතරතුර අතුරුදහන් වූ ළඟම ඥාතීන් පිළිබඳ තොරතුරු ලබාදී විමර්ශනයට සහාය වන ලෙස ඉල්ලා සිටිමින්, භාෂා තුනෙන්ම පුවත්පත්වල දැන්වීම් පළ කරන ලෙස මහේස්ත්‍රාත්වරිය CID යට නියෝග කළාය. අධිකරණයට ඉදිරිපත් කරන ලද අධිකරණ වෛද්‍ය වාර්තාවලින් මළ සිරුරු 1980 ගණන්වල අගභාගයේ ඒවා විය හැකි බව හෙළි වීමෙන් පසුව ඇයගේ මෙම නියෝගය ලැබුණි. ඒ සමගම ඇයට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ලෙස හදිසි ස්ථාන මාරුවක් ලැබුණු අතර සම්පත් ගමගේ මාතලේ මහේස්ත්‍රාත් ලෙස රාජකාරි භාර ගත්තේය. 

එමෙන්ම ඇය නඩුව විභාග කළ අවසන් අවස්ථාවේදී, දේශීය විශේෂඥයින් ප්‍රකාශ කළ පරිදි, මිය ගොස් ඇති කාලය තහවුරු කිරීම සඳහා අස්ථි සාම්පල රේඩියෝ කාබන් පරීක්ෂණ සඳහා විදේශයන් වෙත යැවීමට ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගන්නා ලෙස රහස් පොලිසියට නියෝග කර තිබුණි. කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ නියෝග දෙකම ක්‍රියාත්මක කිරීම මග හැරියේය. 

88-89 භීෂණ සමයේ ගෝඨාගේ කාර්ය භාරය 

මාතලේ සමුහ මිනීවල පිළිබඳ වාර්තා පළවෙද්දි ඊට වගකිවයුත්තන් පිළිබඳ නොනිල වශයෙන් විවිධ ආරංචි පැතිර ගිය අතර ඒවායින් කියවුනේ 88-89 භීෂණ සමයේදී මාතලේ දිස්ත්‍රික්කයේ ජවිපෙ මර්දනය කිරීමේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කළේ යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ එවකට මේජර් වරයෙකු වූ ගෝඨාභය රාජපක්ෂ බවයි. 

එම ආරංචිය පැතිරී යාමට මුලිකම හේතුව වුයේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ අවධියේ මෙම සමුහ මිනීවල හමුවීමට වසරකට පෙර, එනම් 2012 වසරේ, රනිල් වික්‍රමසිංහට හිතවත් 'දිවයින' පුවත්පතේ මාධ්‍යවේදියෙකු වන සී.ඒ.චන්ද්‍රප්‍රේම ලියු GOTA’S WAR කෘතියයි. එම කෘතියේ ‘ජවිපෙ දෙවැනි කැරැල්ල’ 28 පරිච්ඡේදයේදී මාතලේ දිස්ත්‍රික්කය පුරා ගෝඨාභය රාජපක්ෂ සිය අණසක පැතිර වූ අයුරු හා ජවිපෙ මර්දනය ගැන මෙසේ සඳහන් වේ. 

"1989 මැයි 01 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ‘ගජබා රෙජිමේන්තුවේ පළමු බලඇණියේ අණදෙන නිලධාරියා’ ලෙස උසස්වීම් ලැබුවේය. මෙම උසස්වීමත් සමඟ ඔහු ජවිපෙ පාලනය කිරීමේ කාර්යය භාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරියා ලෙස මාතලේට පත් කළා. වසර එකහමාරකට ආසන්න කාලයක් ත්‍රිකුණාමලයේ සිටි පළමු ගජබා බළඇණිය මාතලේට ගෙනාවා. ලුතිනන්වරුන් වන ශවේන්ද්‍ර සිල්වා, ජගත් ඩයස් සහ සුමේධ පෙරේරා මාතලේ ඔහුගේ කොම්පැනි කමාන්ඩර්වරුන් අතර සිටියා". 1989 ජවිපෙ යුදමය වශයෙන් පරාජය වනතුරු වත්මන් ආරක්ෂක ලේකම්වරයා මාතලේ ආරක්ෂක සම්බන්ධීකරණ නිලධාරියා ලෙසින් සිට 1990 ජනවාරි මාසයේදී මාස තුනක නිවාඩුවක් සඳහා ඉල්ලුම් කර තම පවුල බැලීමට ඇමරිකාවට ගියේය. 

සී. ඒ. චන්ද්‍රප්‍රේමගේ GOTA’S WAR පොත නිසා මාතලේ සමුහ මිනීවලට වගකිව යුත්තේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පළමු වැනි ගජබා රෙජිමේන්තුව බවට මෙරට හා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පළ විය. මේ නිසා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ වහාම සිය දේශපාලන මිතුරා වන රනිල් වික්‍රමසිංහ අමතා පැවසුවේ මාතලේ සමුහ මිනීවළ ගැන පළවන වාර්තා නිසා තම සහෝදරයා හා රනිල් වික්‍රමසිංහ අමාරුවේ වැටිය හැකි බවයි. ඒ නිසා මෙයට කළයුතු දේ ගැන රනිල්ගෙන් මහින්ද උපදෙස් පැතුවේය.

කපටි රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂට කළ යෝජනාව 

මෙහිදී කපටි රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂට යෝජනා කළේ ඉක්මනින් මාතලේ සමුහ මිනීවල ගැන සොයා බැලීමට තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කරන ලෙසය. එහි කොමිසමේ ප්‍රධානියා ලෙස වික්‍රමසිංහට ඉතා හිතවත් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරෙකු වන S I ඉමාම් පත්කිරීමට රනිල් යෝජනා කළ අතර මහින්ද රාජපක්ෂට හිතවත් සෙසු සාමාජිකයන් දෙදෙනා වූයේ හිටපු පාර්ලිමේන්තු මහලේකම් ධම්මික කිතුල්ගොඩ සහ විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තුය. 

විනිසුරු ඉමාම් යනු හිටපු ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ විසින් මෑතකදී පාස්කු ප්‍රහාරය ගැන බ්‍රිතාන්‍ය CHANEL 4 නාලිකාව හෙළිකළ කරුණු සොයා බැලීම සඳහා පත්කළ කමිටුවේ ද ප්‍රධානියා ය. රනිල් විසින් ඔහුව පත්කළ තවත් කමිටුවක් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යහපත් පාලනයක් ගෙනයාම සඳහා අර්ජුන රණතුංග යටතේ පත්කළ අතුරු පාලක කමිටුවයි. 

මෙහි විමර්ශකයා වූ මහාවලින්චා ර්ය සෝමදේවගේ පමණක් නොව ලංකාවේ ‘ෂර්ලොක් හෝම්ස්’ හෙවත් ශානි අබේසේකරගේ විමර්ශන පවා සොයා ගන්නා කරුණු බොරු කර සිය ස්වාමියා වන රනිල් වික්‍රමසිංහගේ අවශ්‍යතාව ඉටුකිරීම වෙනුවෙන් කොමිසම මෙහෙයවන අයුරු හිටපු විනිසුරු ඉමාම් ඉතා හොඳින් දනී. ඒ අනුව ඔහු, මහින්ද ගැති සගයන් දෙදෙනා හා එක්ව මාතලේ සමුහ මිනීවල වසාදැමීමේ කුමන්ත්‍රණය ආරම්භ කළේ ය. 

කොමසාරිස්වරු මාතලේට පැමිණ සාක්ෂිකරුවන් 67 දෙනෙකුගේ සාක්ෂි සටහන් කර ගත්හ. ඉන් 47 දෙනෙකු සමූහ මිනීවළ සොයාගැනීමත් සමඟ මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට දිවුරුම් ප්‍රකාශ ගොනුකර තිබුණේ එම මළ සිරුරු 88-89 ජවිපෙ කැරැල්ලේදී අතුරුදහන් වූ තම සමීපතමයන්ගේ විය හැකි යැයි පවසමිනි. අනෙක් සාක්ෂිකරුවන් 20 දෙනා එවකට විශ්‍රාමික හෝ තවමත් සේවයේ සිටින රජයේ නිලධාරීන්ය. 

ඇසින් දුටු සාක්‍ෂි තිබුණේ එම්.ජී. පුංචිබණ්ඩා හේරත් නම් එක් සාක්‍ෂිකරුවෙකුගෙන් පමණි. 1971 වසරේ එම ස්ථානයේම සමූහ මිනීවළක් දුටු බවත්, එම වසරේ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල ද එවක ආණ්ඩුවේ ම්ලේච්ඡ මර්දනයට මග පෑදූ බව පුංචිබණ්ඩා හේරත් සිය සාක්‍ෂියේ සඳහන් කළේය. රෝහල් පරිශ්‍රය තුළ විවෘත මිනීවළක් තිබෙන බව පොලිස් නිලධාරියකුගෙන් දැනගත් ඔහු මාතලේ රෝහලට ගොස් ඇත්තේ එම සොහොන තුළ සිටින අයගෙන් තමන් දන්නා භික්ෂූන් වහන්සේ කෙනෙකුගේ දේහය තිබේදැයි සොයා බැලීමේ අදහසිනි. 

88-89 කාලයේදී එවැනි දැවැන්ත මිනීවළක් කිසිදු පුද්ගලයෙකු විසින් දැක නැති බව කොමිසම වාර්තා කළේය. එමෙන්ම එවැනි දැවැන්ත මිනිස් ඝාතනයක් කිරීම කෙටි වේලාවකින් කළ නොහැකි බව සඳහන් කළ කොමිසම එය නිර්මාණය කිරීමට සැලකිය යුතු කාලයක් ගතවනු බවත් මහ රෝහල මාතලේ නගර මධ්‍යයේ පැවති නිසා ජනතාව බහුල ස්ථානයක මෙවැනි දෙයක් කිරීම අපහසු බවද ප්‍රකාශ කළේය. 

අදාළ කාල පරිච්ඡේදය තුළ රෝහලේ සුළු කාර්ය මණ්ඩලය ලෙස සේවය කළ ඩබ්ලිව්.ජී. හීනප්පු සහ එල්.බී. හේරත් යන සාක්ෂිකරුවන් දෙදෙනාට සමූහ මිනීවළ නිර්මාණය කිරීම පිළිබඳව කිසිදු දැනුමක් නොතිබුණි. එවකට අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි ලෙස සේවය කළ ඒ.එස්.එම්. වෂීර් ද රෝහල් පරිශ්‍රය තුළ එවැනි කිසිදු ක්‍රියාකාරකමක් පිළිබඳව තමා නොදන්නා බව කොමිසමට පැවසීය. රෝහල් පරිශ්‍රයේ පූර්ණ වගකීම දැරූ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියා ලෙස සේවය කළ වෛද්‍ය එච්. කුසුම්පාල ද රෝහල් පරිශ්‍රය තුළ මෙවැනි වරදක් පිළිබඳව තමා නොදන්නා බව ප්‍රකාශ කර තිබිණි. 

මෙම සමුහ මිනීවළ පිළිබඳ ප්‍රවෘත්ති පළවෙද්දී එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, මාතලේ ඇතුළු මධ්‍යම පළාතේ පොලිස් ස්ථානවල වසර 5 කට වඩා පැරණි සියලුම පොලිස් ලේඛන සහ වාර්තා විනාශ කිරීමට නියෝග කළ බව වාර්තා විය

කාලනිර්ණ පරීක්ෂාවට අස්ථි කොටස් ඇමරිකාවට 

මාතලේ නව මහේස්ත්‍රාත්වරයා වූ සම්පත් ගමගේ ගේ අධිකරණ නියෝගය පරිදි Radiocarbon Bomb-pulse Method (RBM) පරීක්ෂණය කිරීම සඳහා සමුහ මිනීවලෙන් ලබාගත් අස්ථි කොටස් ඇමරිකාවේ ෆ්ලොරිඩාහි මියාමි හි බීටා ඇනලිටික්ස් ඉන්කෝපරේෂන් වෙත යැවීමට රහස් පොලීසිය තීරණය කළේය. මෙම අස්ථි කැබලි ෆ්ලොරිඩා වෙත යවනු ලැබුවේ රහස් පොලිසියේ සිටි රාජපක්ෂ පවුලට ලැදි පොලිස් නිලධාරියකු අතය. රහස් පොලිස් නිලධාරීන් විසින් ගෝඨාභයගේ අවශ්‍යතාව පරිදි, වෙනත් සොහොන් භුමි වලින් සොයාගත් පැරණි ඇටකටු පාර්සලයක් පරීක්ෂණය සඳහා යැව්වේය.මෙම පරීක්ෂණය සිදු කළ හැකි ලොව එකම රසායනාගාරය ඇමරිකාවේ ෆ්ලොරිඩාහි මියාමි හි බීටා ඇනලිටික්ස් ඉන්කෝපරේෂන් බව මහාචාර්ය සෝමදේව නිර්දේශ කර තිබූණි. 

විකිරණශීලී කාබන් විශ්ලේෂණයේ ප්‍රතිඵල අර්ථ නිරූපණය කිරීම සඳහා ඇමරිකානු අධිකරණ වෛද්‍ය මානව විද්‍යාඥයෙකු වන ආචාර්ය ඩග්ලස් උබේලර්ගෙන් සහාය ලබා ගන්නා ලදුව, ශ්‍රී ලංකාවෙන් යවනු ලැබූ අස්ථි 88-89 කාලයට නොව 1950 ගණන් වල මියගියවුන්ට අයිති ඒවා බව ඔහු නිගමනය කර තිබුණි. මාතලේ සමූහ මිනීවළෙන් ගොඩගත් අස්ථි කොටස් 1989-1990 කාලය තුළ සිදුවූ අතුරුදහන්වීම් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, මෙම ඇටසැකිලි 1950 වසරට පෙර යුගයකට අයත් බවත්, ඇමරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් රසායනාගාරයක සිදු කරන ලද විද්‍යාත්මක විශ්ලේෂණය මත පදනම්ව, ජනාධිපති ඉමාම් විමර්ශන කොමිසම නිගමනය කළේය. 

කෙසේ වෙතත්, සමූහ මිනීවළෙන් සොයාගත් පුද්ගලයින් "ඔවුන්ගේ මරණයට පෙර දැඩි වධහිංසාවලට ලක් කර ඇති බව පිළිගැනීමට ප්‍රමාණවත් සාක්ෂි කොමිසමට හමු වූ අතර, එමඟින් ඔවුන් බිහිසුණු සමූහ ඝාතනයකට ගොදුරු වූවන් බව පැහැදිලි විය". වින්දිතයින්ගේ හෝ අපරාධකරුවන්ගේ අනන්‍යතාව සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට කොමිසමට නොහැකි විය. "දරුණු අපරාධයේ අපරාධකරුවන්ගේ අනන්‍යතාව හෝ මෙම අවාසනාවන්ත පුද්ගලයින් කුරිරු ලෙස මරා දැමීමට හේතු පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැත," කොමිසම පැවසීය. 

විද්‍යාත්මකව සොයා ගත් දේ බොරු කිරීමට ගත් උත්සාහයක් 

මෙම අස්ථි කොටස් 1986-90 කාලයට අයත් බව පවසන පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව, කොමිෂන් සභා වාර්තාව විද්‍යාත්මකව පදනම් වූ සොයාගැනීම් අසත්‍ය කිරීමට ගත් උත්සාහයක් ලෙස විස්තර කළේය. 

ඇටකටු ෆ්ලොරිඩා වෙත යැවීම නිර්දේශ කළේ තමන් වුවත්, ඇටකටු ඇමරිකාවට යැවීම ගැන කිසිවෙකු තමන්ගෙන් උපදෙස් නොගත් නිසා මෙම යවන ලද ඇටකටු පිළිබඳ තමන් වග නොකියන බවත්, කාබන් පරීක්ෂණය සඳහා යවන ලද අස්ථි කොටස් කැණීම්වලදී හමුවු අස්ථි නොව වෙනත් අස්ථි කොටස් වියහැකි බවට තමන්ගේ විශ්වාසය නිසා කොමිසන් වාර්තාව තමන් පිළිනොගන්නා බවත්, මහාචාර්යවරයා කොමිසමට ප්‍රකාශ කළේය. 

සොහොන දෙවරක් ජලයෙන් යටවී ඇති බැවින් සාම්පල නිසැකවම දූෂණය වී තිබිය හැකි බවත්, කාබන් පරීක්ෂාවේ නිරවද්‍යතාවය ප්‍රශ්න කළ යුතු බවත් මහාචාර්ය සෝමදේව පෙන්වා දුන්නේය. කාබන් පරීක්ෂාවට වඩා පුරාවිද්‍යාත්මක කාල නිර්ණය මත යැපීම වඩා හොඳ බව දැන් ජාත්‍යන්තරව පිළිගෙන ඇති බව ඔහු පැවසීය. 

විශේෂඥ අදහස් සම්බන්ධයෙන් කොමිසමේ විවේචනය තමාටත් පිළිගත නොහැකි බව අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් ජයසේන පැවසීය. ආරම්භයේ සිටම කොමිසම පක්ෂග්‍රාහී වනු ඇති බව ඔවුන් දැන සිටි බවත්, එය පත් කිරීමේ අරමුණ වූයේ චෝදනාවට ලක් වූ ඉහළම පුද්ගලයෙකු නිදහස් කිරීම බවත් බලධාරීන්ගේ හිරිහැර හා විවිධ දුෂ්කරතා මධ්‍යයේ තමා පරීක්ෂණ සිදු කළ බවත්, ඔහු පැවසීය. 

පරීක්ෂණ අතරතුර ඔහුගේ තීන්දුව වූයේ හිස් සහ අත් පා කපා දමා යකඩ ඇණ සිරුරුවලට බලහත්කාරයෙන් ඇතුළු කර ඇති පුද්ගලයින් 150 කට වැඩි පිරිසකගේ අස්ථි කොටස් ඇති බවත්, තම වෘත්තීය වගකීම් ඉටු කරන අතරතුර, දරුණු අපරාධයකට ගොදුරු වූ මෙම වින්දිතයින් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටීමට තම හෘද සාක්ෂිය තමාව පොළඹවන බව වෛද්‍යවරයා සිය මතය පළ කළේය. 

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම පළාත් හිටපු පළාත් සභා මන්ත්‍රී ගමගෙදර දිසානායක චෝදනා කළේ අධිකරණයේ නියෝගය පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය පුවත්පත්වල දැන්වීමක්වත් පළ කර නොමැති බවයි. "අපගේ ව්‍යාපාරය හරහා අප ඇති කරන දැනුවත්භාවය නිසා පමණක් තම ආදරණීයයන් අතුරුදහන් වී ඇති බව පවසමින් මිනිසුන් අප වෙත පැමිණෙමින් සිටිනවා" ඔහු පැවසීය. 

අනුර කුමාර දිසානායක පුර්ණ පරීක්ෂණයක් ඉල්ලයි! 

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වන අනුර කුමාර දිසානායක, ප්‍රංශ පුවත් සේවයට (AFP) පැවසුවේ, සමුහ මිනීවළ ගැන කළ විශේෂඥ පරීක්ෂණ නිසා හෙළිවූ දින වකවානු අනුව මෙම සිරුරු 1980 අග භාගයට අයිති විය හැකි බවත්, මේ ගැන හොඳින් විමර්ශනය කර වරදකරුවන් නීතිය හමුවට පමුණුවා ගැනීමට අවශ්‍ය බව ඔහු පැවසීය. "ඒ කාලේ රාජ්‍ය හමුදාව සහ පැරා මිලිටරි භටයන් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව මහා පරිමාණ ඝාතන සිදු කළා, ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටින්නේ සම්පූර්ණ පරීක්ෂණයක් කරන ලෙසයි" අනුර කුමාර දිසානායක පැවසීය. 

මාතලේ සමුහ මිනීවල ගැන කැණීම්කර හෙළිකරගත් තොරතුරුවලට අනුව මෙය 88-89 භීෂණ සමයේදී ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කළ යුද හමුදාව ඇතුළු අතුරු හමුදා කළ අපරාධයක් බව ස්ථීරය. මෙය රනිල්, මහින්ද, ගෝඨා CID ය යොදවා යට ගැසු බව නොරහසකි. එහෙත් මාතලේ සමුහ මිනීවලේ ඇටකටු තවමත් ඉතිරිව තිබේ. වින්දිතයන්ට සාධාරණයත්, අපරාධකරුවන්ට දඬුවමුත් දෙන බවට පොරොන්දු වූ NPP රජය මේ ගැන කුමන ක්‍රියාමාර්ගයක් ගන්නේදැයි කාලය තීරණය කරනු ඇත. (ලංකා ඊ නිව්ස් විශේෂාංගයක් ඇසුරෙනි)

අදහසක් පළ කරන්න (COMMENTS)

0 Comments