2025 නොවැම්බරයේ 25 වැනිදා සිට එළඹුණු සතියක කාලය තුළ මුළු ශ්‍රී ලංකාවට ම මේ සියවසේ සිදු වූ විශාලතම ඛේදවාචකයට මුහුණ දීමට සිදු විය. අපේ මුළු රටටම මෙතෙක් නොවැටුණු වර්ෂාවක් එක විට ඇද වැටුණා. ඒ සමගම රටපුරා ගංවතුර තත්වයක් ඇති විය. දකුණ පළාත හැර අනෙක් සෑම පළාතකම ජනයා ගංවතුරෙන් හා වැස්සෙන් පීඩාවට පත් වූහ. 1947 දී දිවයිනේ ඇති වූ මහා ගංවතුරට වඩා මෙවර ගංවතුර බිහිසුණු විය. මේ ගංවතුර තත්වයට අමතරව මධ්‍යම කඳුකරයේ බොහෝ තැන්වල නායයාම් තත්වයක් ද ඇති විය. 2016 දී ඇති වුණු ගංවතුර මට්ටමට වැඩි ගංවතුර මට්ටමක් මෙවර ඇති විය. එයින් සිදු වුණු හානියට වඩා විශාල හානියක් මෙවර ගංවතුර නිසා ඇති විය.
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්කේ ඇති වූ අවපීඩන තත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන්නට දින කීපයකට පෙර දිවයිනේ ප්‍රදේශ බොහොමයකට මිලී මීටර 100 ඉක්ම වූ අධික වර්ෂාපතනයක් ඇති විය. නොවැම්බර 21 වැනි දින මාතර දිස්ත්‍රික්කයේ බෙරලපනාතර ප්‍රදේශයට මිමී 183.5ක වර්ෂාපතනයක් ලැබුණි. එය ක්‍රමයෙන් ඉහළ ගිය යන්නට විය. නොවැ. 26 වැනිදා මඩකලපුවේ රූගම් ප්‍රදේශයට මිමී 300.1 වර්ෂාපතනයක් ඇති විය. වවුනියාව දිස්ත්‍රික්කයෙන් මිමී 375ක වර්ෂාපතනයක් වාර්තා විය. නොවැ.28 කිලිනොච්චියෙන් මිමී 295.9ක වර්ෂාපතනයක් වාර්තා විය. වැස්ස නොකඩවා වැස්සේ ය.
‘මුරුගසන්වර්ෂාවක‘ අත්දැකීම අපටත්
මේ නමින් හැඳින්වෙන වැස්ස මෙතෙක් කලක් අප දුටුවේ සාහිත්‍යයෙන් පමණකි. ඒ වැස්ස ලෝක අවසානයේ දී මුළු ලෝකයට ම නොකඩවා වහින්නකි. මෙවර අප ලැබූ වැස්ස එක දිගට සතියක් පමණයි. තවත් සතියක් දෙකක් එක දිගට වැස්සා නම් අපට වෙන දේ සිතා ගන්නට අමාරු නැහැ.
කැනඩාවේ මෙමෝරියල් විශ්ව විද්‍යාලයේ ජල විද්‍යාව හා කෘෂි භූ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලක්ෂ්මන් ගලගෙදර ඒ සුළි කුණාටුවේ දී ශ්‍රී ලංකාවට වැටුණු ඒ දැවැන්ත වැස්ස පිළිබඳ සරල ගණනයක් කර තිබේ. නොවැම්බර් 28 වැනිදා ලද වර්ෂාපතනයෙහි අගය මිමී 200ක් සේ සලකා මේ ගණනය කිරීම කර ඇත. මෙම උපකල්පිත අගය වූ 200න් ශ්‍රී ලංකාවේ වර්ග ඵලය වූ වර්ග කි.මී 65,610 ගුණ කොට පැය 24ක් තුළ වැටුණු වර්ෂාපතනය දළ වශයෙන් ඝන මීටර බිලියන 13ක් යැයි ගණනය කර තිබේ. ඒ ප්‍රමාණය තත්පරයකට ගණනය කළොත් ශ්‍රී ලංකාවට වැටිලා තියෙන වැස්ස ඝන මීටර 150,463ක්. මේක ඇදහිය නොහැකි තරම් ජලය ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ලොකු ම ජලාශයකින් වුවත් පිට කරන්නේ තත්පරයකට ඝන අඩි ලක්ෂයක් එනම් ඝන මීටර 2831.7ක්. ඉතින් අපට එක් දිනක් තුළ ලැබුණ වර්ෂාපතනයේ ප්‍රමාණය ඔබට සිතා ගන්නට පුලුවන්. තව දුරටත් කියනවා නම් මෙය අපට වසරකට ලැබෙන මුළු වර්ෂාපතනයෙන් සියයට 10 විතර වෙයි.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ දකුණ පළාත හැර අනෙක් හැම පළාතකම ගංවතුර තත්වයක් ඇති විය. මහවැලි, කැලණි, කළු, වලවේ ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා සියල්ලේමත් ජල මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ ගියේ ය. මහවැලි ගඟ උතුරා යාමෙන් ප්‍රථම වතාවට පේරාදෙණිය විශ්ව විද්‍යාලය ගංවතුරට ගොදුරු විය. සිදු වී ඇති අලාභය රු. බිලියනයක් පමණ වෙතැයි කියැවේ. ශ්‍රී ලංකාවට වූ සමස්ත පාඩුව බිලියන දාහකටත් වැඩි බවට දැන් ඇස්තමේන්තු කර තිබේ. ඉන් මහාමාර්ගවලට විතරක් කෝටි 7500ක්, විදුලිය හානිය කෝටි 2000ක්, ජලයට සම්පත්වලට කෝටි 560ක්, ලෙසත් අලාභ සිදු තිබේ. පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයටද රුපියල් කෝටි 130කට වැඩි අලාභයක් සිදු වී තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා සියල්ලට අමතර ව මල්වතු ඔය, කලා ඔය, මා ඔය, අරුවි ආරු, කනකරායන් ආරු, යං ඔය, මාදුරු ඔය, දැදුරු ඔය, අත්තනගලු ඔය ඇතුළු කුඩා ගංගා 103ක ම ගංවතුර තත්වයක් ඇති විය.
මේ තරම් දැවැන්ත වැස්සක් එක දිගට පතිත වුණා ම ඒ ජලය පොළොවට උරා ගැනීම ඒ වැස්සේ වේගයට අනුව ම සිදු වන්නේ නැහැ. එවිට පොළොවේ මතුපිට කොටසේ පස් සමග ජලය විශාල ප්‍රමාණයක් රැඳෙයි. එයින් වන්නේ කඳුවල උඩු පස් ස්තරය ජලයෙන් වැඩියෙන් සංතෘප්ත වීමයි. එනම මතුපිට පස්තට්ටුව දිය බරිත වීමයි. යටි ස්තරයට ජලය උරා නොගැනීමත් උඩු ස්තරය ජලයෙන් ලිහිල් වී ඇති නිසාත් මෙහි දී සිදු වන්නේ උඩු ස්තරය එක්වර ම පහළ රූටා යාමය. ඒ අනුව ඒ කඳු පාමුලට වෙන්නට හා කන්ද මැද හරියේ නිවාස තනාගෙන සිටි සියලු දෙනා නිවාසත් සමග සහමුලින් ම වැළලී යාම ය. කලින් ආපදා තත්වය හඳුනා ගෙන ඉවත් වී රතු නිවේදන නිකුත් කර තිබුණත් නිවැසියන් ඊට අවනත වූයේ නැත.
මුළු ශ්‍රී ලංකාවට ම මුහුණ දෙන්නට සිදු වූ ඇති සහ තවමත් සිදුවෙමින් පවතී, විශාලතම බේදවාචකය මේ කඳු ආශ්‍රිතව සිදු වන නාය යෑම් ය. මෙවර ඇති වූ මහා ජල ගැල්ම නිසා වැඩි ම මරණ සංඛ්‍යාවක් සිදු වූ මේ නිසාය.
දිස්ත්‍රික්ක 25න් 22කටම රතු නිවේදන නිකුත් කරනු ලැබීය. ඒ දිස්ත්‍රික්ක තුළ දරුණු නාය යාම් සහ මහා ගංවතුර ගැලීම් විශාල වශයෙන් සිදුවිය. චන්ද්‍රිකා තාක්ෂණයෙන් පෙනුනු විශාල පරිමාණයේ නාය යාම් 1300ක් පමණ ඇති විය. මුළු දිවයින ම පෙනුනේ එකම මහා ගංවතුරක් ලෙසටය.
ජනාධිපතිවරයා ක්ෂණිකව ප්‍රතිචාර දක්වයි.
කුණාටුව එන්නට පෙර සූදානමක් ලෙස අනුර කුමාර දිසානායක යුද හමුදා මූලස්ථානයට ගොස් එහි සන්නිවේදන මැදිරිය ආපදා සහන සලසන මෙහෙයුම් මැදිරියක් බවට පත් කළේය. ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයා එහි ගෙන්වා ගත්තේය. අපදා සහන දෙපාර්තමේන්තුව, ගොඩනැගිලි ද්‍රව්‍ය පර්යේෂණායතනය, නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, කාලගුණ විද්‍යා දොපාර්තමේන්තුව, ඇතුළු හදිසි ආපදා සහන කටයුතුවලට අදාළ දෙපාර්තමේන්තු සමග ඒවායේ නිලධාරින් ගෙන්වා ගත්තේ ය. එතැන් සිට කුණාටුව දිවයිනෙන් බැහැරව යන තෙක් දිවා රෑ නොබලා එහි රැඳී සිටිමින් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය සියලු කටයුතු ඉටු කළේය. අදාළ අමාත්‍යාංශවල අමාත්‍යවරුන් ද එක්කර ගත්තේ ය. සියලු පක්ෂවල නායකයන් ඇතුළත් වන, වසර හතකින් රැස් නොකළ, ජාතික ආපදාකරණ කමිටුව කැඳවා සාකච්ඡා කළේය. ඔවුන්ගේ ද අදහස් ඇති ව හදිසි නීතිය බල ගැන්වීය. කුණාටුව දිවයිනෙන් බැහැරව යනතුරු ඒ මෙහෙයුම් මැදිරිය තුළ ම රැඳෙමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේ ය. ඔහු කැබිනට් රැස්වීම් පැවැත්තුවේ ද ඒ කටයුතු අතරතුර ය. ඉන්පසු ජනාධිපවරයා මෙහෙයුම් මැදිරියෙන් එළියට ආවේ ආපදා සහන සැලසුම නිසියාකාරව සිදුවේ දැයි විමසා බලන්නටය. ඒ සඳහා ඔහු දිස්ත්‍රික් කමිටු රැස්වීම්වලට ගියේය. එහි දී මතු වූ ගැටලු වමසා එවේලේ ම විසඳුම් ලබා දුන්නේය. ඒ ඒ දෙපාර්තමේන්තු එකට එක්ව කතා බස් කොට ඉක්මන් විසඳුම් ලබා දීමේ වැදගත්කම පෙන්වා දුන්නේ ය; හැම දිස්ත්‍රික්කයක් ගැන මත් එහි වැඩ කටයුතු කෙරෙන ආකාරය ගැනත් මනා අවබෝධයක් ලබා ගත්තේ ය.
හදිසි ආපදා කටයුතු අමාත්‍යාංශය අහෝසි කිරීම
2004 සුනාමි ව්‍යසනය ආවේලේ එවැනි කටයුතු පහසු කරවීම සඳහා එවකට සිටි චන්ද්‍රිකා බණ්ඩාරනාක ජනධිපතිනිය ඒ සඳහා වෙනම අමාත්‍යංශයක් ඇති කළාය. අනාගතයේ එන එවැනි ව්‍යසනවලට මුහුණ දීමට ජනතාව සූදානම් කිරීම, අනාවැකි කියන්නට නවීන උපකරණ ගෙන්වා ගෙන ඒවා සවි කරන්නට කටයුතු කළාය. ඊළඟට මහින්ද රාජපක්ෂ ජනාධිපති වූ ආරක්ෂක ලේකම් පදවියට පත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලවා ඒ අමාත්‍යාංශය අහෝසි කොට තමා යටතට ගත්තේ ය. එසේම නාගරික සංවර්ධන අධිකාරයත් තමා යටතට නගර අලංකරණ කටයුතුවලට යෙදවීය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට වැසි පිළිබඳ නිශ්චිත අනාවැකි කියන්නට නවීන උපකරණ තිබුණේ නැත. ඔවුන් වැසි තත්වය කීවේ 75ට වැඩි, 100ට වැඩි එසේ නැතිනම් 150 වැඩි වර්ෂාපතනයක් ලෙසයි. ඈත ඇති වලාකුළුවල ඇති ජලවාෂ්ප ප්‍රමාණය ගැන කියන්න ඩොප්ලර් රේඩාවක් ඔවුන්ට තිබුණේ නැත. ඒ නිසා චන්ද්‍රිකා සමයේ එවැන්නක් ඇණුවුම් කරනු ලැබීය. එවැන්නකින් යවන රේඩාර් කිරණ මගින් බෙංගාල බොක්කේ ඉහළ ඇති වලාකුළුවල ඇති ජලවාෂ්ප ප්‍රමාණය මැන ගත හැකිය. ඒ උපකරණය මෙරටට ගෙනාවේ මහින්ද රාජපක්ෂ සමයේය. ගොනාගල කන්දේ සවි කිරීමට නියමිතව තිබූ එය කන්ද මුදුනට ගෙන ගොස් සවි කිරීම භාර කෙරුණේ අත්දැකීම් අඩු කොන්තරාත්කරුවකුට බාර දීම නිසා කඳුමුදුනට ගෙන ගොස් සවි කිරීමට යද්දී කන්ද පහළට කඩා වැටී විනාශ විය. එය මිල දී රටේ සමාගමට ම සවි කිරීමේ කොන්තරාත්තුවත් බාර දුන්නා නම් අලාබය අපට දරන්නට සිදු වන්නේ නැත. කෙසේ හෝ වේවා අදටත් අපට ඒ කාර්යය ඉටු කරන්නට එවැන්නක් නැත. ඒ නිසා පසුගිය ව්‍යසනය සිදු වූ අවස්ථාවේ මිමී 400ට වැඩි වැසි වැටේවි යැයි නිශ්චිතව පුරෝකථනය කරන්නට ඔවුන්ට හැකියාවක් තිබුණේ නැත. ඔවුන් පුරෝකථනය කළේ අවුරුදු 100කට අධික කාලයක් තිස්සේ රැස්කළ දත්ත හා ඔවුන් සතු අත්දැකීම් මතය.
දිලිත්ගේ දෙරණේ ද්වේෂ සහගත ප්‍රවෘත්ති විකෘතිය
කාලගුණ ලොක්කා මේ ගැන කල් ඇතිව කීවා, ඒත් මේ මහා ව්‍යසනය වළක්වා ගන්නට නිසි පියවර කල් වේලා ඇතිව නොගත් නිසා විනාශයෙන් වූ හානිය වැඩි වුණා කියා විපක්ෂය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා දඬුකදේ ගහන්නට සැරසෙයි. ඊට හේතු පාදක කරගෙන ඇත්තේ කාලගුණ ලොක්කා සමඟ දෙරණ කරන ලද සම්මුඛ සාකච්ඡාවක දී ඔහු කළ ප්‍රකාශයකි.
නොවැම්බර් 12 වැනිදා දෙරණ නාලිකාවේ ‘බිග් ෆෝකස්‘ වැඩසටහනට ගෙන්වා ගත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක ගෙන් එම වැඩ සටහනේ ප්‍රයුංජක කළිඳු කරුණාරත්න ප්‍රශ්නයක් ඇසුවේය. “මං අහන්නේ මේ වගේ අව පීඩන තත්වයත් ඇති වුනොත් ඉදිරි සති දෙක තුනේ දී මොන වගේ දෙයක් සිදු වේවිද?“ කාලගුණය ගැන සති දෙක තුනක් ඉදිරියට පුරෝකථනය කළ නොහැකි යැයි කියා කරුණානායක මහතා ඊට පිළිතුරු දෙමින් කීවේ නැත. ඔහු කීවේ, “දැන් අපි මේ පහු කරන්නේ අන්තර් මෝසම් කාලයයි. වැසි කාලෙ වුනත් වහින වැස්සේ අඩු වීමක් ඇති වෙන්නත් පුලුවන්. වැඩි වෙන්නත් පුලුවන්. මං මෙහිදී කුණාටු කියන වචනය පාවිච්චි කරන්නේ නෑ. වැස්සේ වැඩිවීමක් විය හැකියි.“ කියායි.
ඇත්ත වශයෙන්ම එදා කාලගුණ ලොක්කා කී අවපාතය කුණාටුවක් දක්වා වර්ධනය වුණේ නැහැ. ඒ දුර්වල වී වියැකී ගියේය. පසුව එනම් 25 වැනිදා ඇති වූ අවපාතය තමා 27 වැනිදා කුණාටුවක් දක්වා වර්ධනය වුයේ. 12 වැනිදා කාලගුණ ලොක්කා ඒ ගැන කීවේ නැත. එදා ඔහු කීවේ වැස්ස පවා අඩු විය හැකියි කියාය. ‘වැස්ස අඩුයි කීවොත් මිනිස්සු මේක ගණන් ගන්න එකක් නැහැ. වැස්ස වැඩි වෙන්න විධියක් නැද්ද?‘ කළිඳු කටට දීලා ගත්ත උත්තරේට ඔහු කීවේ, ‘වැස්ස වැඩිවෙන්නත් පුලුවන්‘ කියාය.
සුළි කුණාටු නිසා හානි අතීතයේදිත් සිදු වුණා!
සුළි කුණාටු ඇති වීමට බලපාන අවපීඩන තත්වයන් ඇති වීම බෙංගාල බොක්කේ සාමාන්‍යයෙන් සිදු වන දෙයක්. හැම අවපීඩන තත්වයක් ම සුළි කුණාටු බවට පත්වෙන්නේ නැහැ. ඒ වගේම සුළි කුණාටු බවට පත් වුවත් ඒවා කැරකී ඉන්දියාව දෙසට යාමයි, බොහෝ විට සිදු වන්නේ. දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවට මුහුණ දෙන්නට සිදු වූ පළමු වන සුළි කුණාටුව නොවේ. ඒවායේ තත්වයන් ගණනාවක් 1957 මෙවැනි සුළි කුණාටු තත්වයක් නිසා ඇති වූ ගංවතුරෙන් අහිමි වූ ජීවිත ගණන 200ක්. ඉන්පසු 1964දීත් ඇති එවැනි ම තත්වයකින් 206 දෙනකුගේ ජීවිත නැති විය. ශ්‍රී ලංකාව එතෙක් මුහුණ දුන් දරුණුම සුළි කුණාටු තත්වය එයයි. එය ත්‍රිකුණාමලයේ සිට මන්නාරම දක්වා ගිය නිසා විශාල වශයෙන් හානි සිදු විය.
ආපදා අවදානම් අවම කිරීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ (UNDRR) තොරතුරුවලට අනුව ගංවතුර සහ සුළි සුළං හා තද සුළං හේතුවෙන් 1978 දී 874 දෙනකු ද 1989 දී 240ක් ද 2003 දී 374ක් ද මිය ගොස් තිබේ.
සිදු වූ ආපදාවේ තරම තවමත් අවිනිශ්චිතයි!
මෙවර ඇති වූ සුළි කුණාටු තත්වය හා එයින් ඇතිවූ ආපදා තත්වය මේ වන විට කෙබඳු දැයි විමසා බලමු.
2025 දී ඇති වූ සුළි කුණාටුවෙන් හා නායයාම් ආපදා හේතුවෙන් මෙතෙක් මියගිය ගණන 643කි. අතුරුදන් වූවන් 183කි. විසි එක් ලක්ෂයකට වැඩි ජනතාවක් අවතැන් ව සිටිති. එයින් තවමත් සුරක්ෂා මධ්‍යස්ථානවල 50,000ක් පමණ සිටිති. මෙතෙක් සියලු ආපදාවලට වඩා මෙවර තත්වය වෙනස් වන්නේ එය මුළු ශ්‍රී ලංකාවට ම එකසේ බලපෑම නිසයි. රට තුළ මහා මාර්ග මෙන් ම අතුරු මාර්ග සියල්ලම බිඳ වැටුණි. ප්‍රධාන පාලම් 40ක් කඩා වැටුණි. මේ සුළි කුණාටුව නිසා වූ සමස්ත පාඩුව දළ වශයෙන් ඩොලර් බිලියන 4කට වැඩි බැව් කියැවේ.
කොත්මලේ, ගම්පොළ, වැලිමඩ, උඩුදුම්බර, පේරාදෙණිය, සරසවි ගම, අලවතුගොඩ, වැලිමඩ වැනි ප්‍රදේශවලට නාය යාම්වලින් විශාල ලෙස හානි සිදු විය. මුළු රටපුරා නාය යාම් 1300ක් පමණ වාර්තා වී තිබේ. නාය යාම් නිසා උඩරට දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් ම පාහේ විනාශ විය.
සුළි කුණාටු ඇති වන්නේ කෙසේ ද?
ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ නිරක්ෂය හෙවත් සමකයට ආසන්නව නිසා ඒ ආසන්න මුහුදේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් වැඩියි. කුණාටුවක් හැදෙන්න සාගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 27ක්වත් තිබිය යුතුයි. ඊට අඩු වුණොත් කුණාටු තත්වයක් ඇති වන්නේ නැහැ. එහෙත් පසුගිය සතියේ ශ්‍රී ලංකාව අවට මුහුදේ උෂ්ණ්ත්වය සෙල්සියස් අංශක 30 වඩා වැඩියෙන් තිබූ බව වාර්තා වෙයි.
ගෝලීය උණුසුම වැඩි වීම තමයි කුණාටු ඇතිවීමට ඍජුව ම බලපාන්නේ. සාගරයෙන් තමයි සුළි කුණාටුවලට ශක්තිය ලැබෙන්නේ. මුහුදු මට්ටමේ මතුපිට සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 27කට වඩා වැඩි වූ විට තමයි ඒ ශක්තිය ජනිත වන්නේ. අපේ ශ්‍රී ලංකාව වටා සාගරයේ මතුපිට උෂ්ණත්වය අංශක 30 වඩා වැඩි අගයක් ගන්නවා. මේ තත්වය තමයි, කුණාටු ඇති වීමට මග පාදන්නේ .මුලින් ම අවපීඩන තත්වයක් මුහුද මතුපිට ඇති වෙනවා. මේ අවපීඩන තත්වය තමා මුහුදෙන් ශක්තිය ලබා ගෙන පසුව සුළි කුණාටු තත්වයක් දක්වා වර්ධනය වන්නේ. මෙහිදී මුහුදෙන් වාෂ්පීකරණය වූ ජලය මේ සුළි කුණාටුව විසින් උරා ගෙන එය ගමන් කරන කලාපයේ ගොඩබිම තුළ තද වැසි ඇති කරනවා. ඒ වගේ ම මුහුදේ සුනාමි රළ වැනි රළ ඇති කරනවා. ඒ විතරක් නොවෙයි දරුණු සුළං ඇති කරනවා.
මුලින් ම ඇති වන්නේ වායුගෝලයේ සුළු කැළඹීමක්. පසුව ඒක අවපාතයක් බවට පත් වෙනවා. ඊළඟට සුළං රටාව අනුව එ්ක සුළියක් විධියට කැරකෙන්න පටන් ගන්නවා. ඒක කැරකෙන වේගය කි.මී. 69ට වැඩි වුණා ම අපි ඒකට කුණාටු තත්වයක් කියා කියනවා. ඊළඟට ඒ වේගය කි.මී. 119ට වඩා වැඩි වුණාම ඒකට අපි සුළි කුණාටුවක් කියලා කියනවා.
මේ දිට්වා සුළි කුණාටුව මේතරම් දරුණු වුණේ කොහොම ද?
මෙයට හේතුව බටහිර ඕස්ට්‍රේලියා විශ්ව විද්‍යාලයේ ආචාර්ය සරත් විජේරත්න බීබීසියට මෙසේ පැහැදිලි කර තිබේ. “මගේ විශ්ලේෂණයට අනුව එය ආරම්භ වූයේ අවපීඩන පද්ධති දෙකක් එකතු වීමෙන්. එකක් දිවයිනේ ගිනිකොන දිගින්, අනෙක නිරත දිගින් ඇති වුණා. නිරිතදිගින් ඇති වූ එක ශක්තිමත් වෙමින් නැගෙනහිරට චලනය වුණා. ඒ අතර අනෙක ගිනිකොණ දිගින් බටහිර දෙසට චලනය වුණා. අවසානයේ දී ඒවා එකට වී තමයි දිට්වා සුළි කුණාටුව බවට පත් වුණේ. මේ විධියට අවපීඩන පද්ධති දෙකක් එක්වීම ෆූජිවාරා ආචරණය (Fujiwhara Effect) කියා හැඳින්වෙනවා. මෙය ඉතාමත් කලාතුරකින් සිදුවන්නක්. මෙවැන්නක් මේ කලාපයේ මීට පෙර වාර්තා වී තිබුණේ නැහැ“.
ෆූජිවාරා ආචරණය හෙවත් ද්විත්ව අන්තර්ක්‍රියාව පිළිබඳව මුලින් ම ලෝකයට හෙළි කළේ ජපන් කාලගුණ විද්‍යාඥ සකුහෙයි පුජිවාරා ය. මෙහිදී සුළං ප්‍රවාහ දෙකක් එකට එකතු වීමෙන් දරුණු සුළි කුණාටුවක් බවට පත් වෙයි. මෙය සිදුවන්නේ අපේ රටේ අන්තර් මෝසම් වැසි කාලය තුළ දීය. ඒ වන විට පොළොවට සෑහෙන වැසි ප්‍රමාණයක් ලැබී තිබුණු අතර මේ සුළි කුණාටුව ගෙනා ජලවාෂ්පවලින් තවත් වැඩි වර්ෂාවක් පතිත වූ නිසා ගංගාවලට හා කඳුකරයේ පසට ද එය දරා ගත නොහැකි විය. මෙය මින් පෙර නොවූ විරූ මහා ව්‍යසනයක් බවට පත් වූයේ ඒ නිසාය.
මේ දිට්වා යන නම මේ සුළි සුළඟට තැබුවේ කොහොම ද?
මෙසේ සුළි සුළං සඳහා නම් තබන්නේ වසරකට හෝ හයමසකට වරක් රැස් වෙන සුළි සුළං ඇති වන කලාපය භාර ආයතන පහක් විසිනුයි. ලෝක කාලගුණික සංවිධානය විසින් මෙහෙයවනු ලබන මේ ආයතන නම් ESCAP/WMO ටයිෆූන් කමිටුව, WMO/ESCAP නිවර්තන සුළි සුළං මණ්ඩලය, RA I නිවර්තන සුළි සුළං කමිටුව, RA IV සුළි සුළං කමිටුව, RA V නිවර්තන සුළි සුළං කමිටුව යන ඒවාය.
ලෝක කාලගුණික සංවිධානයට අයත් සාමාජික රටවල ජාතික කාලගුණ විද්‍යා හා ජල විද්‍යාත්මක සේවා විසින් තමයි මේ සඳහා නම් යෝජනා කරන්නේ. මේ සඳහා යොදන නම් තෝරාගන්නා පදනම වන්නේ ඒ ඒ කලාපවල ජනතාවට හුරුපුරුදු, ඇසූ පමණනින් සුළි සුළඟක් යැයි අවබෝධ කර ගැනීමට පහසු වන. ඒ වගේ ම මතක තබා ගැනීමට පහසු කෙටි නම් වීමය. කලින් පුද්ගල නාම, විශේෂයෙන් ම කාන්තා නම් තැබීම සිදුවුවත් එය කාන්තාවන්ට කරන අපහාසයක් ලෙස සලකා ඒ ක්‍රමය බැහැර කරමින්, මේ නව ක්‍රමය හඳුන්වා දෙනු ලැබීය.
සාමාජික රටවල් ලබා දෙන මේ නම් රටේ නම අනුව ලැයිස්තු ගත කරනු ලැබේ. ශ්‍රී ලංකාවෙන් සුළි කුණාටු සඳහා යෝජනා කර ඇති නම් ලැයිස්තුව මෙසේය: අසනි, ශක්ති, ගිගුම්, ගගන, වේරම්භ, ගර්ජනා, නීබා, නින්නාද, විදුලි, ඕඝ, සලිත, රිවි, රුදු යන ඒවාය.
ශ්‍රී ලංකාවට දරුණු ලෙස බලපෑ දිට්වා සුළි කුණාටුවට ඒ නම යෝජනා කළේ යේමනයයි. මීළඟ සුළි කුණාටුවට නම් තැබීමේ වරම හිමි වන්නේ බංග්ලා දේශයටයි. එරට ඉදිරිපත් කර ඇති නම් අතරින් තෝරා ගෙන ඇත්තේ ඔර්නාබි යන නමයි. අවපීඩන තත්වයක් කෙමෙන් වර්ධනය වී සුළි කුණාටුවක් බවට පත් වන මොහොතේ දී තමයි, ඊට නම් තැබීම සිදු කරන්නේ.
0 Comments