‘වැඩ බලන‘ පොලිස්පති ‘වැඩ කරන‘ පොලිස්පති වෙයි!

වසර 160ක ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ලොකු ම ඓතිහාසික පෙරළිය පසුගිය දා සිදුවුණේය. ඒ පොලිසියේ පහළ ම කොස්තාපල් තනතුරේ සිට පියවරෙන් පියවර උසස් වෙමින් පොලිස්පති තනතුර දක්වා යමින් එම තනතුරුට පත් ප්‍රථමයා වෙමින් ප්‍රියන්ත වීරසූරිය මහතා තැබූ වාර්තාවයි. ඒ මහතා තම පොලිස් සේවයේ 37 වැනි වසර සමරන මොහොතේ ශ්‍රී ලංකාවේ 37 වැනි පොලිස්පතිවරයා වීම ද විශේෂත්වයකි. එතුමා ඒ ගමන ආවේ රාජකාරියේ ප්‍රායෝගික අත්දැකීම් ලබන අතර අවශ්‍ය සියලු උසස් අධ්‍යාපනය ද ලබමිනි. එය මුළු පොලිසියට ම ධෛර්යය සපයන ආදර්ශයකි. ඒ මහතා පොලිස්පති ලෙස පත්කරනු ලැබුවේ 36 වැනි පොලිස්පතිවරයා වූ දේශබන්ධු තෙන්නකෝන් එම තනතුරෙන් ඉවත්කිරීමෙන් පසුවය. 

ප්‍රියන්ත වීරසූරිය ශ්‍රී ලංකාවේ 37 වැනි පොලිස්පතිවරයා වෙමින්

ජනතා ඡන්දෙන් එනම් ජනාධිපතිවරණයකින් තොරව පත් වූ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වූ විසින් දේශබන්ධු තෙන්නකෝන් 36 වැනි පොලිස්පතිවරයා ලෙස පත් කරනු ලැබීම මතභේදයක් නිර්මාණය කළේය. ව්‍යවස්ථානුකූලව ඔහුගේ නම අනුමැතිය සඳහා ව්‍යවස්ථා සභාවට යැවූ විට ඊට අනුමැතිය පළ කළේ ඒ කොමිටියේ සාමාජිකයන් සිවු දෙදෙනකු පමණය. දෙදෙනකු විරුද්ධ විය. තවත් දෙදෙනකු ඒ රැස්වීමට පැමිණ සිටියේ නැත. ඒ නොපැමිණි දෙදෙනාගෙන් ඒ පිළිබඳව නොවිමසා ඒ දෙදෙනා විරුද්ධ යැයි සලකා කතානායක සිය තීරක ඡන්දය ලබා දී රනිල්ගේ අවශ්‍යතාවට අනුමැතිය ලබා දුන් අතර රනිල් වික්‍රමසිංහ බොහෝ විරෝධතා මැද්දේ දේශබන්ධු තෙන්නකෝන් පොලිස්පත්වරයා ලෙස පත් කළේය. 

එය අනීතික යැයි කියා කාදිනල් තුමන් ඇතුළු පෙත්සම් කරුවන් 9 දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියහ. විත්තිකරුවන් වූයේ ජනාධිපතිවරයා වෙනුවට නීතිපතිවරයා, කතානායකවරයා හා දේශබන්ධු තෙන්නකෝන් නම් කරනු ලැබීය. ඒ නඩුව විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය දේශබන්ධුට එම ධූරයේ රාජකාරි කිරීම අත් හිටුවා නඩු විභාගය අවසන් වන තෙක් පොලිස්පති ධුරයේ වැඩ බැලීමට වැඩබලන පොලිස්පති වරයකු පත් කරන ලෙස නියෝග කළේය. 

ශ්‍රී ලංකා පොලිසියේ 36 වැනි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ඓතිහාසික තීන්දුවක් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙනු ලැබීය. එනම් වහාම පොලිස්පතිවරයා සිය ධුරයේ රාජකාරි කිරීම අත්හිටුවමින් වාරණ නියෝගයක් නිකුත් කිරීමයි. එසේම එම නියෝගයට අමතරව නඩු විභාගය අවසන් වන තෙක් පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා වෙනත් වැඩබලන පොලිස්පතිවරයකු පත් කරන ලෙස ද නියෝගයේ සඳහන් විය. 

ඒත් උද්ධච්ච රනිල් උසාවි නියෝගය තුට්ටුවකටත් මායිම් කළේ නැත. ඔහු වැඩබලන පොලිස්පති වරයෙක් පත් කළේ නැත. ඔහුට මුක්තිය ඇති නිසා උසාවියට අපහාස කළා කියා දඬුවමක් නැති බව දන්නා නිසාය. ‘බයවෙන්න එපා! අපරාධකාරයෙක් මැරුවත් මං ඉන්නකං. මං බේරා ගන්නවා‘ කී ටිරාන් ආවේත් නැත. ඒත් උසාවි තීන්දුව ගණන් නොගෙන දේශබන්දු පොලිස්පති පුටුවට ගියේ නැත. ඒ උසාවියට අපහාස කළා යැයි සිරදඬුවම් විඳින්නට වන නිසාය. 

නීතියට ගරු නොකරන මේ ‘ඔළුවක්‘ නැති අපතයන්ගේ ක්‍රියාකලාපය නිසා එතැන් සිට රට ගෙන යන්නට වූයේ ‘ඔළුවක්‘ නැති පොලිසියක් සමගය. පොලිස් පතිවරයකු නැතිව ජනාධිපතිවරණය තැබිය නොහැකි යැයි තර්ක කළ අයත් සිටියහ. එහෙත් ස්වාධීන මැතිවරණ කොමිසම නියෝජ්‍ය පොලිස්පතිවරුන් සමග එක්ව පොලිස්පති කලින් දුන් චක්‍රලේඛ අනුව ජනාධිපතිවරණයක් පැවැත් වීය. ඡන්ද පොළට ගිය ජනතාව එක කතිරයකින් රනිල්ගේ මුක්තිය අහෝසි කළහ. අංක එකට සිටි ජනාධිපති බිංදුවට බස්සා ගෙදර ඇරියේය. අනුර කුමාර දිසානායක නව ජනාධිපතිවරයා දිවුරුම් දී මුලින් කළේ උසාවි නියෝගයට අනුව වැඩබලන පොලිස්පතිවරයකු පත් කිරීමය. වැඩ තහනම් කර සිටියත් දේශබන්දු තෙන්නකෝන් තවමත් පොලිස්පති නිසා ඔහු ඉවත් කරනතුරු ප්‍රියන්ත වීරසූරියට පොලිස්පති ලෙස වැඩ බලන්නට සිදු විය. 

ඉන්පසුව දේශබන්දු පාර්ලිමේන්තුව මගින් ධූරයෙන් නෙරපා හැරීමට ජනාධිපති අනුර ගේ ජනතාවාදී ආණ්ඩුව ක්‍රියා කෙළේ ය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පාර්ලිමේන්තුව මගින් පොලිස්පතිවරයෙකු ධූරයෙන් නෙරපා හරිනු ලැබුවේ දේශබන්දු තෙන්නකෝන් ය. 

දේශබන්දු පොලිස්පති ධූරයෙන් නෙරපා හැරීමෙන් පසු ජනාධිපති අනුර ඒ වන විට පොලිස්පති ධූරයේ වැඩ බලමින් සිටි ජ්‍යෙ.නි.පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නම පොලිස්පතිධූරයට යෝජනා කරමින් අනුමැතිය සඳහා ව්‍යවස්ථා සභාවට නම් කර හැරිය අතර ව්‍යවස්ථා සභාවේ ඒකමතික කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් පසු ජනාධිපති අනුර විසින් ප්‍රියන්ත වීරසූරියව ශ්‍රී ලංකාවේ 37 වැනි පොලිස්පතිවරයා ලෙස පත් කරනු ලැබී ය. 

පොලිස් කොස්තාපල්වරයෙකු වශයෙන් සේවයට බැඳුණු ඔහු සේවයේ සිටිය දීම අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් සපුරාලීමෙන් පසුව සහ අවශ්‍ය අනෙකුත් සුදුසුකම් සපුරා තිබීම මත නිසි ක්‍රමවේදය යටතේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස ද, ඉන් පසුව සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස ද ඉඳුරාම බැඳුණු පසුබිම යටතේ කනිෂ්ඨ ශ්‍රේණිය, පරීක්ෂක ශ්‍රේණිය සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත ශ්‍රේණිය යන පොලිසියේ පවතින සියලුම ශ්‍රේණි නියෝජනය වන තනතුරුවල රාජකාරි කළ නිලධාරියෙකු වශයෙන් ඔහුට පොලිසියේ සෑම තනතුරක් සම්බන්ධයෙන් ම ප්‍රායෝගික අත්දැකීම් සමග දැනුමක් ඇති බව ය. 

ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් LLB උපාධිය ලබා නීතිඥයෙකු වශයෙන් දිවුරුම් දී ඇති අතර ඊට අමතරව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් LLM පශ්චාත් උපාධිය ද, කොළඹ විශ්ව විද්‍යාලයෙන් MBA (HRM) පශ්චාත් උපාධිය ද, ලබා ගෙන ඇත. 

නව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය අගෝස්තු 13 වැනිදා රාජකාරි අරඹමින් මාධ්‍ය අමතා කළ වැදගත්, ඓතිහාසික ප්‍රකාශයක් කළේය. එය ඔහුගේම වචනයෙන් නම් මෙසේ ය. 

"පොලිසියේ අපරාධකාරයෝ බිහි වෙලා හිටියා. එවැනි අවස්ථාවලට මං ඉඩ තියන්නේ නෑ. පොලිසියේ නිලධාරියෙක් යම් අපරාධයක් කළොත්, ඒ අපරාධය අපරාධයක් විදිහටත්, නිලධාරියා තවත් අපරාධකාරයෙක් විදිහටත්, සලකා පළමුවෙන් අධිකරණයට ඉදිරිපත් කරලා අධිකරණයේ ක්‍රියාමාර්ග වලට අනුව පසුව තමයි විනය පියවර ගන්නේ" 

පොලිස්පතිට කෙළින් ම දැනුම් දීමට වට්ස් ඇප් අංකයක් 

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය වැඩ බාර ගැනීමෙන් පසු ජනතාවට පොලිස්පතිවරයාට තම ප්‍රශ්න ඍජුවම දැනුම් දීම සඳහා නව වට්ස් ඇප් අංකයක් හඳුන්වා දී තිබේ. එම වට්ස්ඇප් අංකයට පොලිසියේම අයට වුව ද පොලිස්පතිවරයා සමග සම්බන්ධ විය හැකිය. එම වට්ස්ඇප් අංකයට ඇමතුම් ලබා ගත නොහැකි අතර වීඩියෝ, ඡායාරූප සහ ලිඛිත හෝ රෙකෝඩින් පණිවුඩ තැබිය හැකිය. පොලිස්පති වීරසූරිය සමග ඍජුවම සම්බන්ධ විය හැකි එකී වට්ස්ඇප් අංකය මෙසේය: 071 859 88 88 

ඔහු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටියදී කළ විශේෂ ව්‍යාපෘති 

ඔහු ප්‍රවර්තන විෂයයට අදාළ තනතුරුවල රාජකාරි යෙදී සිටිය දී ඔහුගේ මූලිකත්වය යටතේ පොලිසියේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කළ සුවිශේෂි ව්‍යාපෘති කිහිපයක් සහ ඔහු විසින් සිදු කළ නව හඳුන්වා දීම් යටතේ නිලධරයන්ට නිකුත් කරන අයිතම පහත දැක්වේ. i. ජපන් රජයෙන් පරිත්‍යාගයක් වශයෙන් KDH වෑන් - 10ක්ද, ලෑන්ඩ් කෲෂර් ජිප් රථ - 58 ක්ද, බස් රථ (කුඩා) – 04 ක්ද, PRADO ජිප් රථ - 02 ක්ද, XT 250 යතුරු පැදි (250 CC ධාරිතාව) – 150 ක්ද, නවීන තාක්ෂණයෙන් යුතු සෝදිසි කිරීමේ උපකරණ තොගයක් ද ලබා ගැනීම. එවකට මෙම අයිතම වල වටිනාකම රු. මිලියන 2000ක් පමණ වේ. මෙම කර්තව්‍යය එවකට සිටි පොලිස්පතිතුමා විසින් ඇඟයීමට ලක් කර ඔහු වෙත විශේෂ වැටුප් වර්ධකයක් සහ පොලිස්පති ප්‍රශංසාවක් ද පිරිනමා ඇත. 

i. මහජන චීන සමූහාණ්ඩුවෙන් නවීන තාක්ෂණයෙන් යුතු රු. මිලියන 750ක් වටිනා සෝදිසි උපකරණ පරිත්‍යාගයක් වශයෙන් ලබා ගැනීම. මෙම කර්තව්‍යය ඇගයීමට ලක් කර එවකට සිටි පොලිස්පති තුමා විසින් මා හට පොලිස්පති ප්‍රශංසාවක් පිරිනමා ඇත. 

ii. මහජන චීන සමූහාණ්ඩුවෙන් රු. මිලියන 530ක් වටිනා නිල ඇඳුම් රෙදි පරිත්‍යාගයක් වශයෙන් ලබා ගැනීම. මෙම කර්තව්‍යය ඇගයීමට ලක් කර එවකට සිටි පොලිස්පති තුමා විසින් මා හට පොලිස්පති ප්‍රශංසාවක් පිරිනමා ඇත. 

iii. ඉහත කාර්යයන් වලට අමතරව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රමුඛ ව විදේශ තානාපති කාර්යාල කිහිපයක් සමග සම්බන්ධීකරණය වී ශ්‍රී ලංකා පොලිසියේ යටිතල පහසුකම් වැඩි කිරීම සඳහා ඉහල වටිනාකමකින් යුතු අයිතම පරිත්‍යාග පදනමින් ලබා ගැනීමට ක්‍රියා කර ඇත. 

iv. පොලිස් නිලධරයන්ගේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කොට දීප ව්‍යාප්තව වැසිකිළි /කැසිකිළි 2000ක් පමණ අලුතින් ඉදිකිරීම සහ අලුත්වැඩියා කිරීම 

v. අක්‍රීයව පැවති පොලිස් වෛද්‍ය සේවා අරමුදල සහ පොලිස් සුඛ විහරණ අරමුදල ඒකාබද්ධ කර පොලිස් නිලධරයන් ඇතුළු ප්‍රතිලාභීන් ගේ අසනීප සඳහා මෙන්ම සෞඛ්‍ය තත්වය නිසි පරිදි පවත්වා ගෙන යාම සඳහා ප්‍රතිලාභ වැඩි කර " පොලිස් සෞඛ්‍ය සුබසාධක යෝජනා ක්‍රමය " ආරම්භ කිරීමට පියවර ගැනීම. 

ඔහු මූලිකත්වය ගෙන අලුතින් හඳුන්වා දී ඇති දේ මෙසේය: 

ක්‍රීඩා ඇඳුම, ක්‍රීඩා සපත්තු, ගමන් බෑගය (කාන්තා සහ පුරුෂ වශයෙන් වෙන් වෙන්ව), ඇඳ ඇතිරිලි, තුවා, රථ වාහන හැසිරවීමේ රාජකාරි නියුතු නිලධරයන් සඳහා අව් කණ්ණාඩි, නවීකරණය කළ වැහි කබාය, කාන්තා නිලධාරිණියන් සඳහා අංක 04 නිල ඇඳුම (දිග කලිසම සහිත), අවශ්‍ය උපාංග සහිත නව බඳ පටිය (Full Equipment Belt) 

ඔහු නියෝජ්‍ය පොලිස්පති / ප්‍රවර්තන දිසාව වශයෙන් රාජකාරි කළ කාලයේ දී පොලිස් නිලධාරින්ගේ ශුභ සාධනය සඳහා ඉටු කළ සේවාවන් කීපයක් මෙසේය: 

i. පොලිස් නිලධරයන්ගේ ආහාර හා නවාතැන් දීමනාව ගෙවීම් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කිරීම. (ඔහු නියෝජ්‍ය පොලිස්පති / ප්‍රවර්තන දිසාව වශයෙන් රාජකාරි කළ වකවානුවේ සිට සමීක්ෂණ පවා සිදුකර අවශ්‍ය තොරතුරු රැස් කොට පොලිස් නිලධරයන් වෙත මෙම දීමනාව ලබා දීමේ අවශ්‍යතාව සාධාරණීකරණය කිරීම සඳහා සාධනීය මට්ටමින් කරුණු ඉදිරිපත් කළ අතර පොලිසිය වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල සංදේශය ද කෙටුම්පත් කරන ලද්දේ ඔහු විසිනි.) 

ii. රථ වාහන රාජකාරි වල නියුතු නිලධරයන් සඳහා ගෙවනු ලබන මාසික ත්‍යාග මුදල වැඩි කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කිරීම (පොලිස්පති චක්‍රලේඛ අංක 2778/2024 (i) – 2024.06.24 මගින් රථ වාහන රාජකාරි වල යොදවා සිටින නිලධරයන්ට ගෙවනු ලබන මාසික ත්‍යාග මුදල ඉහල අගයකින් වැඩි කර ඇති අතර ඔහු විසින් කරුණු අධ්‍යයනය කර ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව එලෙස අදාළ ත්‍යාග මුදල් වැඩි කිරීම ද සිදු කර ඇත.) 

iii. පොලිස් නිලධරයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශ කෙටුම්පතක් ද සමග යෝජනාවක් ඉදිරිපත් කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කිරීම (මෙම කාරණය සම්බන්ධයෙන් ද සමීක්ෂණ පවා සිදු කර අවශ්‍ය තොරතුරු රැස් කොට පොලිස් සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා පොලිසියට අනන්‍ය වන පරිදි වැටුප් තල සකස් කිරීමේ අවශ්‍යතාව සාධාරණීකරණය කර අදාළ යෝජනාව, අමාත්‍ය මණ්ඩල සංදේශය කෙටුම්පතක් ද සමග රේඛීය අමාත්‍යාංශයට යොමු කිරීම සඳහා ඉදිරිපත් කරන ලද්දේ ද ඔහු විසිනි.) 

වැඩ බලන පොලිස්පති වශයෙන් පොලිසියේ ප්‍රතිරූපය නංවන්නට ගත් පියවර. 

ඔහු වැඩ බලන පොලිස්පතිවරයා වීමෙන් පසු රටේ නීතිය පිහිටුවනවා සේම පොලිසිය තුල නීතිය පිහිටුවීමට ක්‍රියා කිරීමයි. ඒ අනුව ඔහු මේ කෙටි කාලය තළෙ විවිධ විෂමාචාරයන්ට ලක් වු පොලිස් නිලධාරීන් 310 දෙනෙකුගේ වැඩ තහනම් කර විනයානුකූල ක්‍රියාමාර්ග ගෙන තිබේ. එය ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ මින් පෙර නොවූ විරූ දෙයකි. වරක් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ ඉතාමත්ම දූෂිත ආයතනය ලෙස නම් කළ ශ්‍රී ලංකාවේ පොලිසිය ඒ තත්ත්වයෙන් මුදා ඉහලට එසැවීමට නම් එවැනි ක්‍රියාමාර්ග අත්‍යාවශ්‍ය වූයේ නමුත් මීට පෙර සිටි එකදු පොලිස්පති වරයෙකුට එවැනි කොන්දක් හෝ දෘෂ්ටියක් හෝ සැබෑ වුවමනාවක් හෝ තිබුණේ නැත. 

මෙතෙක් අසන්නට ලැබුණු කරුණු අනුව නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පොලිසිය ගැන අතැඹුලක් සේ දන්නා බව පැහැදිලිය. ඒ නිසා පොලිසියේ සේවක මෙන්ම අවශ්‍යතා මෙන්ම පොලිසියෙන් ඉටු විය යුතු සමාජ මෙහෙවර හඳුනා ගෙන මහජනතාවගේ ප්‍රසාදය දිනාගත් නව පොලිසියක් නිර්මාණය කරන්නට පියවර ගනු ඇතැයි අපි විශ්වාස කරමු. ඒ සඳහා සියලු දෙනාගේම සහය ඔහුට ලැබිය යුතු අතර ඔහුව දිරිමත් කිරීම රජයේත් ජනතාවගේත් පරම යුතුකම විය යුතුය. ඔහු පොලිසිය නංවා ලන්නට ආරම්භය දෙන්නට උපන් වීරයකු ලෙසත් සූරයකු ලෙසත් අනාගතයේ දී ඔහුට විශ්‍රාම ගැනීමට හැකි වේවායි පතමු.

අදහසක් පළ කරන්න (COMMENTS)

0 Comments