යාපනයේ ධිවරයන්ගේ මත්ස්‍ය සම්පත කොල්ලකන්නට රාමේෂ්වරම් සිට එන මංකොල්ලකරුවන් පිරිසක් සිටිති. ඔවුහූ ශ්‍රී ලංකාවේ දේශ සීමාව උල්ලංඝනය කරනවා පමණක් නොව තහනම් ධීවර පන්න ක්‍රම යොදා ගෙන අපේ සාගරයේ තියෙන සබ්බ සකලමනාව සූරා ගෙන යති. ඉන්දියාව අපේ ලොකු අයියාය. මෙසේ ලොකු අයියාගේ චන්ඩි පාට් දාන්න එන්නේ දකුණු ඉන්දියාවේ ධීවරයන් ය. ඔවුන්ට ඒ සඳහා අනුබල දෙන්නේ දකුණු ඉන්දියාවේ දේශපාලනඥයන් ය.
මෙය සිදුවන්නේ හරිම පුදුම විධියකටය. මුලින්ම ඉන්දීය ධීවරයෝ එකවර බෝට්ටු සිය ගණනක් තුන් හාරසීයක්, සමහර විට ඊටත් වැඩි ගණනක්, අපේ මුහුදු සිමාව ආසන්නයට විත් පේළියක් සේ සැදී හිඳ පාන්දර 2කට පමණ සතුරු හමුදාවක් ආක්‍රමණය කරන්නා සේ එකවර ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට කඩා වදිති. මේ බෝට්ටු හැම එකකම වාගේ ජීපීඑස් තාක්ෂණය තිබේ. ඒ නිසා ඔවුන්ට අපේ මුහුදු සීමාව හඳුනා ගැනීමට අපහසුවක් නැත. ඔවුන් කරන්නේ පැහැදිලිවම ආක්‍රමණයකි.
අපේ මුහුදු සීමාව රැක ගැනීම නාවික හමුදාවට අයත් ප්‍රධාන රාජකාරියයි. මුහුදේ නොපෙනෙන තෙක් මානයට එක පෙළට දෙබරුන් සේ විසිරී සිටින මේ බෝට්ටුවලින් එන ඉන්දීය ආක්‍රමණිකයන් සියලු දෙනාවම එකවර අල්ලා ගැනීමට අපේ මුළු නාවික හමුදාවම ආවත් බැරි තරම් ඒ ධීවර හමුදාව විශාලය. ඒ නිසා අපේ නාවික හමුදාවේ අය අසීරුවට පත්වේ. ඒ වුනත් ඒ අසීරු තත්වය යටතේ වුව අපේ නාවික හමුදාව නීතිය ක්‍රියාත්මක කරමින් ඉතා ඉවසීමෙන් යුතුව කටයුතු කරයි.
නාවික හමුදාව බොහෝ කාලයක් තිස්සේ මේ අසීරුතාවට මුහුණ දෙමින් සිටියි. අපේ රට අවට මුහුද, ජලය, ඒ හා බැඳුණු සම්පත් ආරක්ෂා කිරීම නාවික හමුදාවේ වගකීමයි. ඒ වගකීම ඉටු කරන්නට ඔවුන් ආක්‍රමණකාරී ඉන්දීය ධිවරයන් අල්ලා ගෙනවුත් නීතිය හමුවට ගෙනාවත් අපට ඔවුන් ඊට නිසි දඬුවම් දෙන්නට ඉඩ ලැබෙන්නේ නැත. ඉන්දීය රජයේ මැදිහත් වීම නිසා අපට ඔවුන්ව ඉන්දියාවට බාර දීමට සිදුවේ. ඒ නිසා නාවික හමුදාව දැන් බොහෝවිට කරන්නේ අත්අඩංගුවට ගෙන නැවත ඒ වරද නොකරන ලෙස තදින් අවවාද කර ඔවුන් මුදා හැරීමයි.
ඉන්පසු ඔවුන් කරන්නේ ආපසු රාමේෂ්වරම් වෙත ගොස් තමිල්නාඩු ප්‍රාන්තයේ දේශපාලනඥයන්ගේ සහය ලබා ගෙන ශ්‍රී ලංකා නාවික හමුදාවට එරෙහිව විරෝධතා සංවිධානය කිරීමයි. ඔවුහූ ශ්‍රී ලංකා නාවික හමුදාව තමන්ට කුරිරු ලෙස සලකන බවත්, තමන්ගේ නොදැනුවත්කම නිසා ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට අත් වැරදීමකින් ඇතුළු වුවහොත් අල්ලා ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ගොස් තමන් අල්ලා ගත් මසුන් උදුරාගෙන තමන්ට අඩන්තේට්ටම් කරන බව කියමින් උද්ඝෝෂණය කරති; වැඩවර්ජන පවා කරති; හර්තාල් කරති. දකුණු ඉන්දීය දේශපාලනඥයෝ ද ඊට සහභාගිවෙමින් ඔවුන්ට උල්පන්දම් දෙති. එපමණක් නොව ඉන්දී ධීවරයෝ දේශපාලනඥයන් සමග එක්ව රූපවාහීනී මාධ්‍ය සාකච්ඡා මගින් අපේ නාවික හමුදාවට දොස් පවරති; ශ්‍රී ලංකා රජය සමාව ගතයුතු යැයි බල කරති.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෙරළාරක්ෂක බලකාය නීති විරෝධී ලෙසින් එන ආක්‍රමණකාරී ඉන්දීය ධීවර පිරිස් අල්ලා ගත් හැම අවස්ථාවකම ඉන්දියාවේ රාමේශ්වරම් හී විරෝධතා සංදර්ශනයක් පැවැත්වීම සාමාන්‍ය දෙයකි. ඉන්දීය පුවත්පත්වල, ‘ශ්‍රී ලංකා නාවික හමුදාව අහිංසක ධීවරයන්ට පහර දීලා. ඔවුන් ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කරලා!’ යනුවෙන් සිරස්තල පළවෙයි.
ඉන්දීය ධීවරයෝ මෙහිදී නීති විරෝධී ක්‍රියා දෙකක් කරති. එකක් අනවසරයෙන් අපේ මුහුදට ඇතුළු වීමය. අනෙක ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ ද තහනම් කර තිබෙන ට්‍රෝලර් ක්‍රමයට මුහුදු පත්ල සූරා ගෙන යන පරිදි දැල් යොදා කරන, සියලු මුහුදු ජීවීන් විනාශ කරන, ක්‍රම යොදා ගැනීමයි. එයින් අපේ මුහුදු පරිසරයට තදබල ලෙස හානි වෙයි. අනෙක් අතට යාපනයේ සිටින අපේ ශ්‍රී ලංකා ධීවරයින්ට ඔවුන්ගේ මුහුදු රස්සාව කරගෙන යාමට නොහැකි වී තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව අල්ලා ගත් විට ඔවුන් කියන්නේ, ‘අනේ අපි දන්නේ නැහැ, අපිට තේරුණේ නෑ, ශ්‍රී ලංකා දේශ සීමාව පසු කළ බව. අපි අසරණ ධිවරයන් පිරිසක්’ කියාය. ඉන්දීය ධීවරයින් මුහුදු යන ධීවර බෝට්ටු නවීන GPS තාක්ෂණය, රේඩාර් සහ මග සොයා යාමේ පද්ධති ආදී හැම නවීන පහසුකමක් ම තියෙන ඒවාය. ඔවුන්ට අපේ ධීවරයන්ට වඩා පහසුකම් තිබේ. ඔවුන්ගේ පිරිස් බලය ද වැඩිය. මුහුදේ ‘වැටවල් නැති නිසා’ දේශසීමාව වැරදීමකින් පසු කළාය කියන කතාව ලොකුම බොරුවකි. ඇත්තම තත්වය නම් ඔවුන් නවීන උපකරණ මගින් අපේ දේශසීමාව හඳුනා ගෙන ඒ අසලට එක් රැස්ව හිඳ මැදියම් රැය පසුවූ පසු එකවරම අපේ මුහුදට කඩා වැදීමයි.
අපේ නාවික හමුදාව මුලින් ඔවුන් අල්ලා පොලිසියට බාර දුන්නද ඔවුන්ට නිසි දඬුවම් දීමක් සිදු වන්නේ නැත. අපේ දේශපාලනඥයන් මැදිහත් වී රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කොට ඔවුන් ඉන්දියාවට ආපසු බාර දීමයි සිදුවන්නේ. අනිත් අතට දකුණු ඉන්දියානු දේපාලනඥයෝ මේ ප්‍රශ්නය ඡන්දය ලබා ගැනීමට උපක්‍රමයක් ලෙස යොදා ගනිති. අපේ දේශසීමාව තුළ පිහිටි කච්චතිවු දුපත ඉන්දියාවට අයත් එකක් යැයි කියමින් එය අනාගතයේ දී ඉන්දියාවට පවරා ගන්නා බව කියමින් එරට ධීවර ජනතාවට බොරු පොරොන්දු දෙති. මේ හේතුව නිසා අපේ දේශසීමාව ගැනත් ධීවරයෝ සැක කරති. අනිත් අතට ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ඇතුළට කඩා වදින්න එපා කියා කිසි විටෙකවත් ඉන්දියානු දේශපාලනඥයන් ඔවුන්ගේ ජනතාට කියන්නේ නැත. ඒ නිසා ධීවරයෝ අපේ දේශසීමා නීතිය තුට්ටුවකටවත් මායිම් කරන්නේ නැත.
අප දෙරටේ ම නීතියට අනු ව තහනම් දැල් ආම්පන්න යොදා ගෙන මසුන් මැරීමට මුහුදට යාම නීති විරෝධී ය. අපේ නාවික හමුදාව නම් එවැනි ආම්පන්න රැගෙන යනු දුටවොත් අපේ ධිවරයන් හා ආම්පන්න අත් අඩංගුවට නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට බාර දෙති. එහෙත් ඉන්දීය නාවික හමුදාව මේ තහනම් ආම්පන්න රැගෙන මුහුදට ඒමට ඉඩ හැර නුදුටුවා සේ සිටීම ගැන අපේ නාවිකයෝ පුදුම වෙති. ඉන්දියානු නාවික හමුදාවට හා වෙරළාරක්ෂක බළකායට මේ කලාපයේ ඇති වඩාත් දියුණු සමුද්‍ර නිරීක්ෂණ පද්ධතියක් ඇත. එසේ තිබිය දී සතිපතා බෝට්ටු සිය ගණනක් මෙසේ ආක්‍රමණශීලී ලෙස ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට කඩා වදිනු ඔවුන්ට නොපෙනෙතැයි යන්න කෙසේ විශ්වාස කරමුද?
දැන් උද්ගතවී ඇත්තේ නාවික හමුදාවට හා අපේ ධිවරයන්ට තනිව විසඳා ගත හැකි තත්වයක් නොවේ. එසේම අපට ඇති නීතිමය අයිතියෙන් පිළියම් සෙවිය හැක්කක්ද නොවේ. මෙය චිරාත් කාලයක් තිස්සේ දෙරටේ ධිවරයන් අතර පවතින ප්‍රශ්නයක් ලෙස නොසැලකිය යුතුය. මෙය ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය පිළිබඳ ප්‍රශ්නයකි. මෙය දෙරටේ රාජ්‍ය නායකයන් විසින් සාකච්ඡා කර විසඳා ගත යුතු බරපල ගැටළුවකි. ඉන්දියාවේ ධීවරයන් මෙහි බලෙන් කඩා වැදීම නවත්වන්නට එහි රාජ්‍ය නායකයාට නොහැකි නම් අප ආක්‍රමණිකයන් අල්ලා නීතිය ක්‍රීයාත්මක කර විට බලපෑම් නොකරන්නට ඉන්දීය නායකයා එකඟ කරවා ගත යුතු වෙයි. දෙරටේ ම අය නීතිය අකුරටම පිළිපදින්නේ නම් මේ තත්ත්වය තවදුරටත් ඇති වන්නේ නැත.
0 Comments