ශ්‍රී ලංකාව, අපේ මේ ආදරණීය දූපත, ඉංග්‍රීසින්ගේ යටත්විජිතයක් බවට පත් වූයේ හරියටම මීට වසර දෙසිය දහයකට පෙරය. ඒ 1815 මාර්තු 02 වැනිදාය. අද 2025 මාර්තු 02වැනිදාය. අපේ උඩරට සිංහල නායකයන් රවටා සුද්දා හොර ගිවිසුමක් ගසා එදා අපේ මාතෘභූමිය අල්ලා ගන්නට හදන මොහොතේ ගිවිසුම් අස්සන් කරන්නට පෙර මහනුවර දී ඉංග්‍රීසි කොඩිය එසවීමට එරෙහි වූ අපේ වාරියපොළ සුමංගල හිමියන් ඒ මොහොතේම විරෝධය පාමින් ඒ කොඩිය ඇද බිම දැමූවේ 1815 මාර්තු 02 දාය. එදා ඒ වීර ක්‍රියාව උන්වහන්සේට සුද්දාගෙන් මරණ දඬුවම හිමි විය. එදා මහනුවර සිදුවූ දේ ඉදිරි දවසක ‘යටගිය දවසෙ’න් කතා කරමු.
අද කතා කරන්නේ සුද්දා මීට වසර 76කට පෙර අප අතහැර අපේ මේ මව්බිම, අපේ කළු සුද්දන්ට බාර දී ගියාට පසු අපට අපේ කියා ආර්ථිකයක් සාදා ගැනීමට නොහැකි බැරි විය. තේ හා රබර් වගාව අපට හුරු කළේ සුද්දාය. ඒ කාලයේ ලංකාව නැමති රටේ තෝන් ලණුව අතට ගත්, ටයිකෝට් ටොප් හැට් ඇඳගත් අපේ කළු සුද්දෝ සුද්දා ගෙන ගිය පාරේ ම කරත්තය දැක්කුවෝය. ධර්මපාල තුමන් පෙරටු කොට ගත් දේශමාමක පිරිස්, මේ යන මඟ වෙනස් කිරීමට කොතරම් බෑඟිරි ගැහුවත්, ඒ කනකටවත් නොගත් අපේ සාත්තුනායකයෝ, තට්ටු මාරු ක්‍රමයට තෝන් ලණුව අතට ගනිමින් ‘ඒ මඟ මිස වෙන මඟක් නැතැ’යි කියමින් ඒ මඟ ම ගියෝය. ඊළඟට උද්ඝෝෂණයෙන් පලක් නොව බව දැනගත් අපේ රටේ තරුණ පිරිස් බලය අතට ගන්නට සූදානම් වූ විට එය ද ලත් තැනම ලොප් කරන්නට තරම් ඔවුහූ දාමරික වූහ. අන්තිමේ දී රට බංකොළොත් වෙන තැනට ම ඒ මඟ ම කරත්තය දැක්කුවෝය.
අපේ රටේ ඇති වටිනා දේ ගෙන යන්නට මුලින් ම ආවේ පුරුතුගීසි කාරයාය; එනම් පරංගියාය. ඒ 1505 දීය. ‘පරංගියා කෝට්ටේ ගියා වාගේ’ යයි කතාව පටන් ගත්තේ එදා සිටය. එදා පරංගියා අපේ රජුගෙන් නවතින්නට ඉල්ලුවේ ‘ගෙරි හමක් එලාගන්න තරම්’ කුඩා බිම් කඩකි. එහෙත් ඔවුන් නතර වූයේ මුළු බස්නාහිර වෙරළ තීරය ම අල්ලා ගෙනය. අපේ රටට, අපේ සංස්කෘතියට, අපේ භාෂාවට, ලොකුම වින්නැහිය කළේ පරංගියාය. සිංහල අවුරුද්ද සමරන්නේ අදත් අපි යොදා ගන්නේ ඔවුන්ගේ කැවිලිවලිනි. ඒ බව නම්වලින් ම පෙනේ. අපේ ඇත්තන්ට නම් දුන්නේ ද පරංගියා ය. දැන් වුවද ඡන්ද නාමලේඛනය අරන් බැලුවොත් වැඩි හරියක් ඇත්තේ පරංගි නම් ය. පරංගියා අපට හුඟක් දේ පුරුදු කළේය. සීනී කෑමත් ඉන් එකකි. දේශපාලනයට බෙදා වෙන්කොට, එමෙන්ම එකිනෙකා කොටවා ජාති, ගෝත්‍ර භේද භින්න කර පාලනය කරන හැටි ඉගැන්නූහ. එහෙමත් තිබියදී 2005 දී පරංගියා, මෙරටට පැමිණි, 500 වැනි සංවත්සරය උත්සවාකාරයෙන් සමරන්නට සමහර ගැත්තෝ උත්සාහ කළහ.
ඊළඟට ආවේ ලන්දේසීන්ය. අපේ සිංහල රජවරුන් පරංගියා එළවන්නට ලන්දේසින්ගේ සහය ලබා ගත්හ. ඒක ‘ඉඟුරු මිරිස් ගත්තා වාගේ’ වැඩක් විය. පරංගියා ගියේ ය. අපට සිදු වූ ලන්දේසින්ට යට වෙන්නටය. ඔවුහූ අපේ රටේ බටහිර මුළු වෙරළ තීරයම අල්ලා ගත්හ. ඔවුන්ගේ බලපරාක්‍රමය ගාලු කොටුවේ සිට යාපනය දක්වාම පැතුරුණේය. එහි සලකුණු තමාත් අපට පෙනේ. ඊට පස්සේ ආවේ සුද්දාය: එනම් ඉංග්‍රීසින්ය. අපි ලන්දේසින් එලවන්නට සුද්දාගේ සහය ගත්තේය. සුද්දා ලන්දේසින් පළවා හැර මුහුදුකරය අල්ලා ගත්තා පමණක් නොව උඩපාත දෙරටත්, රජුත් නිලමේවරුනුත්, කොටවා, හොර ගිවිසුම් රජු අල්ලා පිටුවහල් කොට මුළු රටම වංචනික ලෙස අත්පත් කර ගත්තේය.
මේ විදේශී ජාතින් තුනෙන් ම අපට, අපේ රටට, අපේ සංස්කෘතියට, අඩුවැඩි වශයෙන් හානි සිදුවිය. මේ ආකාරයේ වසර 557ක් අපි පරාධීන ජාතියක් වශයෙන් ජීවත්වීමු. අප ජන දිවියට, දිවි පැවැත්මට විශාල බලපෑමක් ඔවුන්ගෙන් සිදු විය. එයින් වසර 500ක් තුළ ඔවුන් අපේ සම්පත් හා ආර්ථිකය සූරා ගෙන ඔවුන්ගේ රටවලට ගෙන ගියහ. තමන්ගේ ආහාර ටික තමන් ම හදා ගෙන නිදහසේ ජීවත් වූ ජාතියකගෙන් ඒ පුරුද්ද උදුරා ගත්හ. අපේ රත්තරන් මැණික් උදුරා ගෙන ගිය ඔවුන් අපට දුන්නේ වළං කැබලි හා ටින් කැබලිය. අපේ රටේ පරම්පරා පහකට පමණ එල්ල කළ මානසික පීඩනයෙන් අපට තවමත් ගැලවීමට නොහැකිව තිබේ. තාමත් ඔවුන් රෝපණය කළ හොල්මන් තාමත් අප අතර හිඳ අපේ කකුලෙන් අදින්නේ ය.
ඒ නිසා අපේ ඉහළට ඔසවා තබන්නට නම්, පරජාතීන්ගේ කිළුටු වුණු අපේ ජනමනස ‘ක්ලීන්’ කළ යුතුය. ‘ක්ලීන් ශ්‍රී ලංකා සම්පූර්ණ වන්නේ එවිටය. අප සෑම මනුෂ්‍යයකුට ම එක හා සමානව සැලකීම පෙරට ගතයුතුය. එකමුතුකම පෙරදැරි කොට ගෙන, එකිනෙකාට සහය වෙමින් ජීවත්විමට ජනතාවට හුරු කළයුතුය. ඉදිරියේ දී, පක්ෂවලට, පාටවලට, සාටකවලට, මුවා වී තම වාසිය ම පමණක් සොයන කපටි දේශපාලන දේශප්‍රේමීන්ට නොරැවටෙන්නට වග බලා ගත යුතුය. මේ තත්වය දැන් අපේ රටේ ජනතාව ටිකක් දුරට තේරුම් ගෙන ඇති බවක් පසුගිය දා සිදුවූ පෙරළියෙන් පෙන්නුම් කළත්, එය කඩා බිඳ දමන්නට එන සතුරු බලවේග පලවා හැර නිදහස් වූවාය කියා සැනසෙන්නට පුලුවන්කමක් නැත. ඔවුන් නැවත හිස ඔසවන්නට ඉඩ තිබේ.
අද කඩිනමින් කළ යුතු දෑ රැසක් තිබේ. පාරිභෝගිකයා නිර්දය ලෙස ගසා කන වෙළඳපොළ මාෆියාව, තරුණ පරපුර බිළිගන්නා මත්දුව්‍ය ජාවාරම හා රට තුළ භීතිය ඇති කරන පාතාලය තියෙන නීතිරීති උපයෝගී කර ගෙන වහා ම මර්දනය කළයුතුය. ඒවා මේ කටයුත්තට ප්‍රමාණවත් නොවන්නේ නම් දැන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ඇති නිසා වහා නීති සම්මත කර ගත යුතුය. මේ මර්දනය සාර්ථක කර ගන්නට වගකිව යුතු අයට ඉලක්ක ලබා දිය යුතුය. ඒ ඉලක්ක සපුරා ගැනීමට අසමත් අය ඒ රාජකාරිවලින් ඉවත් කළ යුතුය. හදිසි නීතිය දැන් ක්‍රියාත්මක වන නිසා ත්‍රිවිධ හමුදාව ම මේ සඳහා යොදා ගෙන ඊට සහයක් දැක්විය හැකිය. තරාතිරම නොබලා, මේවායේ නායකයන් සොයා, පරීක්ෂණ අවසන් කර චෝදනා ඉදිරිපත් කරනතුරු ජාතිය ගලවා ගැනීමේ නාමයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කළ යුතුය.
ඊළඟට බොහෝ යල් පැනගිය, පරංගින්ගේ, ලන්දේසින්ගේ හා සුද්දන්ගේ නීති ‘කොපි’ කර ජනතාව සම්බන්ධ කර නො ගෙන කළු සුද්දන් සම්මත කර ගත් ව්‍යවස්ථාවට අපේ රට ගැන ගැඹුරු දැනුමක් ඇති නීති විශාරදයන් ලවා අප රටට ගැළපෙන, සමාජවාදී, ප්‍රජාතන්ත්‍රවාදී පමණක් නොව නූතනවාදී ව්‍යවස්ථාවක් සැකසිය යුතුය. එයට තම අදහස් දක්වන්නට අවස්ථාව ලබා දිය යුතුය. මෙතෙක් කල් කළාක් මෙන්, තම තමන්ට පුද්ගලික වාසි සැලසෙන අණපනත් ගෙනත් පැලැස්තර ඇලවීම ඉදිරියට නොකළ යුතුය. ඒ ව්‍යස්ථාවෙන් පසුගිය වසර 550 තුළ ජනතාවට සිදුවූ හානිය අවසන් කර නියම නිවහල්, නිදහස් ජාතියක් ලෙස වර්තමාන ලෝකේ බැබළෙන්නට ශ්‍රී ලංකාවට ඉඩ සලසා දිය යුතුය.
තවත් කිවයුතු අවධානය යොමු කළ යුතු පැති ගණනාවක් තිබේ. ඒවා ගැන ඉදිරියේ දී වෙන වෙනම දීර්ඝ වශයෙන් කතා කරමු.
0 Comments